තමිල්නාඩුවේ ජෝසෆ් විජේගේ නායකත්වයෙන් යුත් ‘තමිලග වෙට්ට්‍රි කසාගම්’ (TVK) රජය පෙරළා දැමීමේ අරමුණින් ක්‍රියාත්මක වූ බව පැවසෙන රහසිගත දේශපාලන කුමන්ත්‍රණයක් හෙළිදරව් වීමත් සමඟ තමිල්නාඩු දේශපාලන කරළිය දැඩි උණුසුම් තත්ත්වයකට පත්ව තිබේ.
TVK මන්ත්‍රීවරයෙකු වන එන්. ඉලෙයිරාජා මහතා වෙත සභා කතානායකවරයාට එරෙහි යෝජනාවකට සහාය ලබා ගැනීම සඳහා ඉන්දීය රුපියල් මිලියන 350ක අල්ලසක් ලබා දීමට උත්සාහ කළ බවට සිදුකළ පැමිණිල්ලකට අනුව, චෙන්නායි පොලීසිය විසින් පුද්ගලයන් තිදෙනෙකු ඊයේ (01) අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් අය අතර විපක්ෂයේ DMK පක්ෂයේ මන්ත්‍රී සෙන්තිල් බාලාජිගේ සහෝදරයා වන අශෝක් බාලාජි සමඟ සමීප සබඳතා පවත්වන්නන් සිටින බව වාර්තා වේ.
දේශපාලන ආරංචි මාර්ග පවසන පරිදි, මෙම කුමන්ත්‍රණයේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ TVK පක්ෂයේ මන්ත්‍රීවරුන් 15 දෙනෙකු ලවා එකවර ඉල්ලා අස්වීමේ ලිපි ලබා දෙමින් විජේගේ රජය අස්ථාවර කර බිඳ දැමීමයි. අල්ලස් දීමට උත්සාහ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අශෝක් බාලාජිට එරෙහිව මේ වන විට නීතිමය පියවර ගනිමින් පවතින අතර, මේ හේතුවෙන් TVK පක්ෂය සහ විපක්ෂයේ DMK හා AIADMK පක්ෂ අතර දැඩි දේශපාලන වාග් ප්‍රහාර හුවමාරු වෙමින් පවතී.














