පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නිර්මාතෘ දින සැමරුම සහ ආදි විද්‍යාර්ථි විශිෂ්ටතා සම්මාන උළෙල 2026 ජූලි මස 01 වන දින එම විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී උත්කර්ෂවත් අයුරින් පවත්වනු ලැබීය. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවය සඳහා විවිධ වෘත්තීය ක්ෂේත්‍ර නියෝජනය කරන ආදි විද්‍යාර්ථීන් විශාල පිරිසක් සහභාගී වූහ.
උත්සවයේ ආරම්භයේදී ශ්‍රීමත් අයිවර් ජෙනින්ග්ස් මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම සහ විශ්වවිද්‍යාල භූමියේ පැළ රෝපණය කිරීම සිදු කෙරිණි. නිර්මාතෘ දින දේශනය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ හිටපු සභාපති මහාචාර්ය ගාමිණී සමරනායක මහතා විසින් පවත්වනු ලැබීය.
විවිධ ක්ෂේත්‍ර ඔස්සේ රටට සහ ලෝකයට සුවිශේෂී දායකත්වයක් සැපයූ ආදි විද්‍යාර්ථීන් රැසක් මෙහිදී ඇගයීමට ලක් විය. අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා සහ අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා ද විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලැබූහ. කෘෂිකර්ම, සම සෞඛ්‍ය, කලා, දන්ත වෛද්‍ය, ඉංජිනේරු, විද්‍යා, කළමනාකරණ, වෛද්‍ය සහ පශු වෛද්‍ය යන ක්ෂේත්‍රවල කැපී පෙනෙන දායකත්වයක් ලබාදුන් විද්වතුන් සහ වෘත්තිකයන් රැසක් මෙහිදී ගෞරවයට පාත්‍ර විය.
මීට අමතරව, පසුගිය වසරේ ඇති වූ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් විශ්වවිද්‍යාලයට සිදු වූ හානි මධ්‍යයේ, ඉතා කෙටි කාලයක් තුළ අධ්‍යයන කටයුතු යථා තත්ත්වයට පත් කිරීමට කැපවූ ආදි විද්‍යාර්ථීන්, වත්මන් සිසුන් සහ කාර්ය මණ්ඩලය ඇගයීම මෙම උළෙලේ විශේෂ අංගයක් විය.
















