ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ (CAASL) සංවිධානයෙන්, ඊළඟ පරපුරේ ගුවන් සේවා වෘත්තිකයන් බිහිකිරීමේ (Next Generation of Aviation Professionals – NGAP) ජාතික වැඩසටහන පසුගියදා කණ්ඩලම ඩී. එස්. සේනානායක මහා විද්‍යාලයේදී ඉතා සාර්ථකව පැවැත්විණි. සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල් හා ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් දමින්ද රඹුක්වැල්ල මහතාගේ නායකත්වයෙන් යුතුව මෙම වැඩසටහන දියත් විය.
මෙම අවස්ථාවට ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ (ICAO) ආසියා හා පැසිෆික් කලාපීය කාර්යාලයේ කලාපීය අධ්‍යක්ෂ ටාඕ මා (Mr. Tao Ma) මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වීම විශේෂත්වයක් වූ අතර, එමඟින් ගෝලීය වශයෙන් ලංකාවේ ගුවන් සේවා මානව සම්පත නැංවීමට ඇති කැපවීම යළිත් තහවුරු කෙරිණි. ගලේවෙල අධ්‍යාපන කලාපයට අයත් පාසල් කිහිපයකින් සිසු සිසුවියන් 400කට ආසන්න පිරිසක් මීට සහභාගී වූහ.
සිසුන්ගේ මහත් උද්යෝගයට හේතු වූ ආකෘති ගුවන්යානා (Model Aircraft) සංදර්ශනයකින් ආරම්භ වූ මෙම වැඩසටහනට සමගාමීව ගුවන්සේවා තේමා කරගත් චිත්‍ර තරඟයක්, විශේෂඥ දේශන සහ අන්තර්ක්‍රියාකාරී දැනුම් බෙදාගැනීමේ සැසි රැසක් ඇතුළත් විය. තරුණ පරපුර ගුවන්සේවා ක්ෂේත්‍රය වෙත ආකර්ෂණය කරගනිමින්, අනාගත ලෝකයට ගැළපෙන වෘත්තිකයන් බිහිකිරීම වෙනුවෙන් සිවිල් ගුවන්සේවා ප්‍රවර්ධන අංශය දිවයින පුරා මෙම වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලබයි.
















