කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට සහ කතෝලික පූජාප්‍රසාදීන් වහන්සේලාට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ ක්‍රියාත්මක වන ද්වේෂසහගත මඩ ප්‍රචාරවල මූලික අරමුණ, 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ සත්‍යය යටපත් කිරීම බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
කාදිනල් හිමිපාණන් සිය ධුර කාලය දිගු කර ගැනීම සඳහා පාස්කු ප්‍රහාරය ප්‍රයෝජනයට ගන්නා බවට එල්ල වන චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන රදගුරු සම්මේලනය, කතෝලික ශාසන නීතියට අනුව වයස අවුරුදු 75 සපිරුණු වහාම උන්වහන්සේ ශුද්ධෝත්තම පියතුමා වෙත විශ්‍රාමගැනීමේ ලිපිය යොමු කර ඇති බව පෙන්වා දෙයි. විශ්‍රාම ගැන්වීම හෝ ධුර කාලය දිගු කිරීමේ පරම බලය පවතින්නේ ශුද්ධෝත්තම පියතුමාට පමණක් බවත්, ඒ දක්වා ධුරයේ වගකීම් දැරීමට උන්වහන්සේ බැඳී සිටින බවත් එහි සඳහන් වේ. පාස්කු වින්දිතයන් වෙනුවෙන් කාදිනල් හිමිපාණන් පෙනී සිටින්නේ අවංක චේතනාවෙන් බව පවසන රදගුරු සම්මේලනය, මෙම මඩ ප්‍රචාර දැඩි සේ හෙළා දකින බව දන්වා සිටියි.
















