හෙඩ්ෆෝන් (Headphones) හෝ ඉයර්ෆෝන් (Earphones) පැලඳ සංගීතයට සවන් දෙමින් මාර්ගයේ ගමන් ගන්නා පදිකයන්ට එරෙහිව ඉදිරියේදී අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා පොලීසියේ රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අධ්යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මනෝජ් රණගල මහතා පවසයි. දැනට මෙවැනි පදිකයන්ට අවවාද කිරීම් පමණක් සිදු කළ ද, අනතුරු ඉහළ යාම නිසා ඉදිරියේදී නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව ඒ මහතා සඳහන් කළේය.
මාර්ග අනතුරු හේතුවෙන් දිනකට පුද්ගලයන් 10 දෙනෙකුට වඩා මියයන අතර, මෙම වසරේ මුල් මාස 6 තුළ පමණක් සිදුවූ රථවාහන අනතුරු 1,323කින් පුද්ගලයන් 1,389 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. 2025 වසරට සාපේක්ෂව මෙවර අනතුරු සහ මරණ සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇත. අධික වේගයෙන් ධාවනය කරන වාහන හඳුනා ගැනීම සඳහා ඇමරිකාවෙන් ගෙන්වූ කිලෝමීටර 3ක දුරක් ආවරණය කළ හැකි නවීන වේගමාපක දැනටමත් ක්‍රියාත්මක කර ඇති බවත්, ඉදිරියේදී මාර්ග නීති උල්ලංඝනය කරන්නන්ගේ රියැදුරු බලපත්‍ර පවා අවලංගු කිරීමට කටයුතු කරන බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
















