ශ්‍රී ලංකාවට අවශ්‍ය ඕනෑම අවස්ථාවක ඕනෑම උදව්වක් කිරීමට අසල්වැසි රට ලෙස ඉන්දියාව නිරන්තරයෙන් සූදානම් බව මහනුවර පිහිටි ඉන්දීය සහකාර මහ කොමසාරිස් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී සහකාර මහ කොමසාරිස් සරන්‍යා වී.එස්. මෙණෙවිය ප්‍රකාශ කළාය. පසුගියදා මෙරටට බලපෑ ‘දිට්වා’ සුළි කුණාටු අවස්ථාවේදී මෙන්ම ආර්ථික අර්බුද හමුවේ ද ඉන්දියාව පූර්ණ සහාය දුන් බවත්, මේ වන විට වතු ජනතාව වෙනුවෙන් ඉදිවන නිවාස 10,000 ව්‍යාපෘතිය ඇතුළු ඉන්දීය ආධාර ලබන ව්‍යාපෘති රැසක් මෙරට ක්‍රියාත්මක වන බවත් ඇය සිහිපත් කළාය.
ඉන්දියාවේ මෑතකදී සිදු කරන ලද සමීක්ෂණ අනුව එරට පවුල්වල සෞඛ්‍ය, විදුලිබල (98.3%), පිරිසිදු පානීය ජලය (96.5%) සහ අන්තර්ජාල භාවිතය කැපී පෙනෙන ලෙස වර්ධනය වී ඇති බවත්, බාලවයස්කාර විවාහයන් 20.1% දක්වා විශාල ලෙස අඩු කර ගැනීමට හැකි වී ඇති බවත් ඇය මෙහිදී අනාවරණය කළාය. දැඩි අභියෝග හමුවේ ඉන්දියාව ලබාගෙන ඇති මෙම සංවර්ධන ජයග්‍රහණ ශ්‍රී ලංකාව වැනි අසල්වැසි රටවල් සමඟ බෙදා ගනිමින් දෙරට අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වන බව ද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
















