ස්විට්සර්ලන්තයේ ජිනීවාහි එක්සත් ජාතීන්ගේ සංවිධාන පරිශ්‍රයේ (Palais des Nations) පැවැති “Not a Woman’s Job? Women Leading Countries, Societies and Communities” තේමාව යටතේ වූ 5 වැනි ඡායාරූප ප්‍රදර්ශනයේදී ශ්‍රී ලාංකේය කාන්තා නායකත්වය ඉහළින්ම ඇගයීමට ලක්ව තිබේ. පවතින සාම්ප්‍රදායික මතවලට අභියෝග කරමින් සමාජය වෙනස් කළ ලොව පුරා කාන්තාවන් වෙනුවෙන් සංවිධානය කළ මෙම ප්‍රදර්ශනය, එක්සත් ජාතීන්ගේ ජිනීවා කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ටැටියානා වැලෝවායා (Tatiana Valovaya) විසින් විවෘත කරන ලදී.
මෙහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ප්‍රමුඛ පෙළේ ස්ත්‍රීවාදී විද්වතෙකු සහ ලේඛිකාවක වන කුමාරි ජයවර්ධන මහත්මියගේ සහ “සිංහල සිනමාවේ කිවිඳිය” ලෙස ප්‍රකට ශ්‍රී ලංකාවේ ප්‍රථම කාන්තා සිනමා අධ්‍යක්ෂවරිය මෙන්ම හිටපු තානාපතිනියක ද වන අභාවප්‍රාප්ත සුමිත්‍රා පීරිස් මහත්මියගේ ඡායාරූප සහ සේවාවන් ප්‍රදර්ශනයට එක් කර තිබුණි. ජිනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත සුමිත් දසනායක මහතා විසින් මෙම ප්‍රකට ශ්‍රී ලාංකේය කාන්තා නායිකාවන් දෙපළගේ ගෝලීය දායකත්වය පිළිබඳව අධ්‍යක්ෂ ජනරාල්වරිය දැනුවත් කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
















