විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලබන ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික ඒකාබද්ධ පර්යේෂණ සහ වැඩමුළු වැඩසටහනේ 2024 චක්‍රය යටතේ, පර්යේෂණ ව්‍යාපෘති 16ක් සහ වැඩමුළු 22ක් සඳහා අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම පසුගියදා විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල පරිසර අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණි.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පාරිසරික පර්යේෂණ කටයුතු ප්‍රවර්ධනය කිරීම සහ දැනුම හුවමාරු කර ගැනීම අරමුණු කරගත් මෙම වැඩසටහන 2008 සැප්තැම්බර් මාසයේ ආරම්භ වූ අතර, මේ වන විට එය 5 වන අදියරට පැමිණ ඇත. මෙම වැඩසටහන මගින් ශාස්ත්‍රීය නිමැවුම්වලින් ඔබ්බට ගොස්, ජාතීන් දෙකටම බලපාන සමාජීය අභියෝගවලට විසඳුම් සෙවීම සහ වාණිජමය වශයෙන් වටිනා නවෝත්පාදන නිෂ්පාදනය කිරීම සඳහා ප්‍රමුඛ අවධානය යොමු කරයි.
2024 චක්‍රය තුළදී ආහාර තාක්ෂණය, ශාක පාදක වෛද්‍ය විද්‍යාව, මිනුම් විද්‍යාව, අභ්‍යවකාශ පර්යේෂණ සහ යෙදුම්, රොබෝ විද්‍යාව සහ ස්වයංක්‍රීයකරණය, කාර්මික ඉලෙක්ට්‍රොනික උපකරණ, පුනර්ජනනීය බලශක්තිය, අපද්‍රව්‍ය කළමනාකරණය සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යන ප්‍රමුඛතා ක්ෂේත්‍ර 9ක් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර ඇත.
උත්සවයේදී අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, දේශගුණික විපර්යාස, ආහාර සුරක්ෂිතතාව සහ පිරිසිදු බලශක්තිය වැනි ලෝකයටම පොදු අභියෝග හුදකලා උත්සාහයන්ගෙන් විසඳිය නොහැකි බවයි. ඒකාබද්ධ පර්යේෂණ සහ දැනුම බෙදාහදා ගැනීම තුළින් ගොඩනැගෙන නව සොයාගැනීම්, ප්‍රතිපත්ති තීරණ හැඩගැස්වීමට සහ කලාපයේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට මහත් පිටුබලයක් වනු ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.
මෙම අවස්ථාව සඳහා විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් මොහොමඩ් නවවි මහතා, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ දේශපාලන උපදේශක සහ චාන්සරි ප්‍රධානී ආචාර්ය රම්බාු මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන්, විද්‍යාඥයින් සහ පර්යේෂකයින් පිරිසක් සහභාගී වූහ.
















