ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය වසරක කාලය තුළ ක්‍රිප්ටෝ මුදල් ව්‍යාපාර හරහා ඇමෙරිකානු ඩොලර් බිලියනයකට (රුපියල් බිලියන 300කට අධික) වඩා උපයාගෙන ඇති බව අනාවරණය වී තිබේ. ඇමෙරිකානු රජයේ ආචාර ධර්ම පිළිබඳ කාර්යාලය නිකුත් කළ මූල්‍ය ප්‍රකාශනයකින් මෙම තොරතුරු හෙළිව ඇත.
මීට පෙර ක්‍රිප්ටෝ මුදල් ‘වංචාවක්’ ලෙස හැඳින්වූ ට්‍රම්ප්, මේ වන විට එම ක්ෂේත්‍රයෙන් දැවැන්ත ලාභයක් ලබන්නෙකු බවට පත්ව සිටීම විශේෂත්වයකි. ට්‍රම්ප්ගේ පවුලට සම්බන්ධ ‘වර්ල්ඩ් ලිබර්ටි ෆිනෑන්ෂල්’ (World Liberty Financial) ව්‍යාපාරයෙන් ඩොලර් මිලියන 500ක් සහ $TRUMP නම් ‘මෙම්කොයින්’ ව්‍යාපාරයෙන් ඩොලර් මිලියන 600කට අධික මුදලක් ඔහු උපයා ඇති බව වාර්තා වේ. මෙම ආදායම සමඟ ඔහුගේ ශුද්ධ වත්කම ඩොලර් බිලියන 6 දක්වා ඉහළ ගොස් ඇතැයි ෆෝබ්ස් සඟරාව පෙන්වා දෙයි.
කෙසේ වෙතත්, මෙම ක්‍රිප්ටෝ ව්‍යාපෘතිවල ආයෝජනය කළ සාමාන්‍ය ජනතාවට අත්ව ඇත්තේ කණගාටුදායක ඉරණමකි. $TRUMP කාසියේ අගය සියයට 98කින් පහත වැටීම හේතුවෙන් ආයෝජකයින් මිලියනයකට අධික පිරිසකට අතිවිශාල පාඩුවක් සිදුව ඇති අතර, ට්‍රම්ප්ගේ මෙම ලාභය සාමාන්‍ය ආයෝජකයින්ගේ මුදල්වලින් සැකසුණක් බවට විචාරකයින් චෝදනා කරති.
මෙම අනාවරණයත් සමඟ විපක්ෂ දේශපාලනඥයින් ට්‍රම්ප් වෙත දැඩි විවේචන එල්ල කරමින් පවසා සිටින්නේ, ජනතාව ආර්ථික අර්බුදයක සිටියදී ජනාධිපතිවරයා තම තනතුර ව්‍යාපාරික වාසි සඳහා භාවිත කරන බවයි. කෙසේ වෙතත්, ධවල මන්දිරය එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් කියා සිටින්නේ ට්‍රම්ප් තම ධුරය කිසිදු ලෙසක අවභාවිත කර නොමැති බවයි.
















