පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය ළමාවංශ විසින් විශ්වවිද්‍යාලයට අයත් වෑන් රථයක් තම පෞද්ගලික කටයුත්තක් සඳහා අවභාවිතා කළ සිදුවීමක් සම්බන්ධයෙන් අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශනයක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බව දැනගන්නට ඇත.
2023-01-11 වන දින රාත්‍රියේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සාමාන්‍ය සේවා අංශයට අයත් අංක CP NP 3264 දරණ ටොයොටා KDH වර්ගයේ අළු පැහැති වෑන් රථය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිට, කොළඹ නුවර මාර්ගයේ කඩවත දක්වා ගොස්, අධිවේගී මාර්ගය ඔස්සේ හක්මන දෙනගම ග්‍රාමය දක්වා කිලෝමීටර් 265කට අධික දුරක් ධාවනය කර නැවත එම මාර්ගයේම ආපසු පැමිණ තිබේ. සමස්ත ගමනට කිලෝමීටර් 600කට ආසන්න දුරක් වැය වී තිබේ.
මෙම ගමනේ දුර ප්‍රමාණය සහ රාත්‍රිය පුරා ධාවනය කිරීමට සිදුවීම යන කාරණා හේතුවෙන් ඒ සඳහා රියදුරන් දෙදෙනෙකු යොදවා ඇති අතර ඔවුන්ගේ නම් කාංචන සහ ඒකනායක වේ. මෙම ගමන සඳහා රියදුරන්ට අතිකාල ගෙවා ඇති අතර, අධිවේගී මාර්ගය සඳහා ගාස්තුද ගෙවා තිබෙන්නේ විශ්වවිද්‍යාල අරමුදලිනි. ගමන සඳහා ඉන්ධන සපයා ඇත්තේද විශ්වවිද්‍යාල මුදලිනි. මෙම ගමන සඳහා වගකීම දරමින් එහි ධාවන සටහනට විනයාරක්ෂක නිලධාරී මහේෂ් අබේවික්‍රම නැමැත්තෙකු අත්සන් තබා ඇත.
එහෙත් හක්මන, දෙනගම ග්‍රාමයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයට අයත් අධ්‍යයන හෝ විනයාරක්ෂක අංශයට අයත් වෙනත් කිසිදු රාජකාරී කටයුත්තක් තිබී නැත. දැනගන්නට ඇති පරිදි, එවකට උපකුලපති ළමාවංශගේ මවගේ මෘත දේහය පේරාදෙණියේ සිට හක්මන දෙනගම ග්‍රාමය දක්වා ගෙනයාමේදී, අවමංගල රථයේ පසුගමන් රථයක් ලෙසට මෙම වෑන් රථය යොදාගෙන ඇත. ඒ අනුව මෙය සම්පූර්ණයෙන්ම පෞද්ගලික කටයුත්තක් සඳහා පොදු දේපළ යොදා ගැනීමකි.
















