ඇමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් (JD Vance) විසින් මීට පෙර සිදු කරන ලද “රට පාලනය කරන්නේ දරුවන් නොමැති බළලුන් ඇති කරන කාන්තාවන් (Childless Cat Ladies)” යන මතභේදාත්මක ප්‍රකාශයට උපහාසාත්මක ප්‍රතිචාර දක්වමින් සමාජ මාධ්‍ය ගිණුම් පවත්වාගෙන යන කාන්තාවක විසින් උප ජනාධිපතිවරයාට එරෙහිව නඩු පවරා තිබේ. තමන් නීත්‍යානුකූලව ලියාපදිංචි වී පැමිණි උත්සවයකට සහභාගි වීමට ඉඩ නොදී ව්‍යවස්ථා විරෝධී ලෙස තමන්ව ඉවත් කළ බව ඇය සිය නඩුවෙන් චෝදනා කරයි.
රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරන පරිදි, ඉන්ස්ටග්‍රෑම් (Instagram) හි මිලියන 1.9කට අධික අනුගාමිකයන් (Followers) පිරිසක් සිටින “CatsOnACouch” ඇතුළු බළලුන් තේමා කරගත් ප්‍රකට පිටු කිහිපයක හිමිකාරිනිය වන ඇමැන්ඩා මැක්ගොනිගල් (Amanda McGonigle) නැමති මෙම කාන්තාව විසින් මේ නඩුව මේන් (Maine) ප්‍රාන්තයේ ෆෙඩරල් අධිකරණයක් හමුවේ ගොනු කර ඇත. පසුගිය මැයි මාසයේ බැන්ගෝර් හිදී උප ජනාධිපතිවරයා සහභාගි වූ මූල්‍ය වංචා මර්දන වැඩසටහනකට සහභාගි වීමට ඇය නිසි පරිදි අවසර ලබාගෙන තිබියදීත්, වෑන්ස්ගේ ආරක්ෂක කණ්ඩායම සහ සංවිධායකයින් විසින් ඇයගේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරකම් හේතුවෙන් ඇයව එම පරිශ්‍රයෙන් පන්නා දමා ඇති බව වාර්තා වේ.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්
















