පාර්ලිමේන්තුව තුළ මෙන්ම ඉන් බැහැරව සිටින විපක්ෂයේ ක්‍රියාකාරීන් ඒකාබද්ධ කිරීමේ අරමුණින්, විපක්ෂ මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ, රෝහිත අබේගුණවර්ධන, අනුරාධ ජයරත්න, ඩී. වී. චානක සහ චානක මඩුගොඩ යන මහත්වරුන් එක්ව “A Team – Next Wave” (විශිෂ්ඨයන්ගේ කණ්ඩායම – ඊළඟ රැල්ල) නමින් නව දේශපාලන වේදිකාවක් නිල වශයෙන් ආරම්භ කර තිබේ. වත්මන් රජයට පවතින අතිවිශාල බලය හේතුවෙන් පාර්ලිමේන්තුව තුළ නිසි නියෝජනයක් නොලැබෙන දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වෙනුවෙන් ශක්තිමත් හඬක් නැඟීම මෙහි ප්‍රධාන අරමුණක් බව ඔවුහු පවසති.
වත්මන් ආර්ථික දුෂ්කරතා, බදු බර මෙන්ම ගොවියන්, ධීවරයන් සහ තාරුණ්‍යය මුහුණ දෙන දැවෙන ගැටලුවලට මුහුණ දිය හැකි අත්දැකීම් බහුල කණ්ඩායමක අවශ්‍යතාව රටට පවතින බව පෙන්වා දෙන මෙම මන්ත්‍රීවරුන්, මෙහි දිගුකාලීන අරමුණ ශ්‍රී ලංකාවේ අනාගතය භාරගත හැකි “ඊළඟ ජාතික කණ්ඩායම” (Next National Team) ලෙස ශක්තිමත් විපක්ෂ බලවේගයක් ගොඩනැඟීම බව අවධාරණය කරති.














