අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහකනදරාව, නාච්චදූව සහ මහවිලච්චිය ප්‍රදේශ හරහා විහිදී ඇති අභයභූමි හා වනාන්තර යා කරන සාම්ප්‍රදායික අලි මංකඩවල් නිදහස් කිරීමේ වැඩසටහනක් පිළිබඳව පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි සහ නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.
වන අලින්ගේ සංක්‍රමණික මාවත් ජී.පී.එස් (GPS) හා චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ කඩිනමින් සිතියම්ගත කර රක්ෂිත කලාප ලෙස ප්‍රකාශයට පත් කිරීමට පියවර ගැනේ. මහකනදරාව සහ නාච්චදූව ප්‍රදේශ අතර අලිමංකඩ අභයභූමියක් ලෙස නම් කිරීමේ මූලික කටයුතු පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු විය. වන අලින්ගේ ස්වාභාවික සංක්‍රමණික රටාවන්ට බාධා නොවන පරිදි නිදහසේ සංචරණය වීමට ඉඩ සැලසීම තුළින් අලි-මිනිස් ගැටුමට දීර්ඝකාලීන විද්‍යාත්මක විසඳුම් සපයාදීම රජයේ අපේක්ෂාවයි. මීට පෙර හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවල ප්‍රධාන අලි මංකඩවල් ත්‍රිත්වයක් වන කොහොලංකල, හදපානාගල සහ වැටහිරකන්ද ප්‍රදේශ ගැසට් පත්‍රයක් මගින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත. ලොව දියුණු රටවල අනුගමනය කරන ‘භූ දර්ශන මට්ටමේ සංරක්ෂණ ප්‍රවේශයන්’ (Landscape-level Conservation) අනුගමනය කරමින්, ඉන්දියාව, කෙන්යාව සහ ටැන්සානියාව වැනි රටවල් අලි-මිනිස් ගැටුම් 60%-70%කින් අවම කර ගත් ආකාරයට මෙරට අලි මංකඩවල් යා කිරීම (Habitat Connectivity) සිදු කිරීමට බලාපොරොත්තු වේ.














