ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමට අයත් ඔරුගොඩවත්ත හන්දියේදී අද (08) දහවල් කන්ටේනර් රථයක් පෙරළී යාමෙන් එම මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ. අවිස්සාවේල්ල දෙස සිට පෑලියගොඩ දෙසට ධාවනය වූ කන්ටේනර් රථයක් ඔරුගොඩවත්ත හන්දියෙන් දකුණට හැරවීමේදී මෙම අනතුර සිදුව ඇත.
අනතුර හේතුවෙන් දෙමටගොඩ සිට පෑළියගොඩ දක්වා දිවෙන මාර්ගයේ මංතීරු දෙකක් සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති අතර, රථවාහන තදබදය අවම කිරීම සඳහා පොලීසිය විසින් විකල්ප ධාවන සැලසුමක් ක්‍රියාත්මක කර ඇත. ඒ අනුව පෑළියගොඩ දෙස සිට දෙමටගොඩ දක්වා වන මංතීරුව ඔස්සේ රථවාහන දෙපසටම ගමන් කිරීමට කටයුතු යොදා තිබේ.
මාර්ගයේ ඇති වී තිබෙන මෙම අවහිරතාව කඩිනමින් ඉවත් කර රථවාහන ගමනාගමනය යථා තත්ත්වයට පත් කිරීම සඳහා කටයුතු කරමින් පවතින බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි. එබැවින් මෙම මාර්ගය භාවිතා කරන රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙස හෝ විමසිලිමත්ව ධාවනය කරන ලෙස දැනුම් දෙනු ලැබේ.














