මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීමේ චාරිත්‍රය අගෝස්තු මස 13 වැනිදා පෙ.ව. 6.17ට යෙදෙන සුබ නැකතට අනුව සිදු කෙරෙන බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා නිවේදනය කළේය.අගෝස්තු 13 වැනිදා කප් සිටුවීමෙන් අනතුරුව, 17 වැනිදා දක්වා සිව් මහා දේවාල අභ්‍යන්තර පෙරහැර පැවැත්වේ. අගෝස්තු 18 වැනිදා පළමු කුඹල් පෙරහැර ආරම්භ වන අතර, 22 වැනිදා දක්වා එය පැවැත්වීමට නියමිතය. අගෝස්තු 23 වැනිදා පළමු රන්දෝලි පෙරහැර ආරම්භ වන අතර, අවසන් මහා රන්දෝලි පෙරහැර අගෝස්තු 27 වැනිදා පැවැත්වේ. පෙරහැර මංගල්‍යය නිම කරමින් අගෝස්තු 28 වැනිදා දිය කැපීමේ පෙරහැර සහ දහවල් පෙරහැර පැවැත්වීමට කටයුතු යොදා ඇත.එදින පස්වරුවේ දියවඩන නිලමේවරයා විසින් පෙරහැර සාර්ථකව සිදු කළ බවට වූ පෙරහැර සංදේශය ජනාධිපතිවරයා වෙත භාර දෙනු ලැබේ. මෙම නිල නිවේදනය දළදා මාලිගයේදී පැවති සාකච්ඡාවකදී සිදු කෙරුණු අතර, ඒ සඳහා අස්ගිරි සහ මල්වතු පාර්ශ්වයන්හි නායක ස්වාමින් වහන්සේලා, සිව් මහා දේවාල බස්නායක නිලමේවරුන් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී විය.














