වසර ගණනාවක සිට විවිධ අරමුණු පෙරදැරිව ස්ථාපිත කර ඇති නමුත් වර්තමාන අවශ්‍යතාවන්ට සාපේක්ෂව ඵලදායීතාවෙන් තොර ආයතන පවත්වාගෙන යාම මගින් රජයට දැරීමට සිදුව ඇති අතිමහත් බර සහ අකාර්යක්ෂමතාව අවම කිරීම උදෙසා දැඩි තීරණ ගැනීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පියවර ගෙන ඇත. විශේෂයෙන්ම එකම විෂය ක්ෂේත්රයක් යටතේ අමාත්‍යාංශ ගණනාවක ආයතන ක්‍රියාත්මක වීම හේතුවෙන් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී මතු වී ඇති ව්‍යාකූලත්වය සහ සම්පත් අපතේ යාම පාලනය කිරීමටත්, රාජ්‍ය යාන්ත්‍රණය විධිමත් කිරීමටත් ජනාධිපතිවරයා අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශයේ 2026 වසරේ අයවැය ප්‍රගතිය සහ 2027 වසරේ සැලසුම් සමාලෝචනය කිරීමේදී මෙම කරුණු අවධාරණය වූ අතර, රටේ ජනතාවගේ දීර්ඝකාලීන පානීය ජල ගැටලුවට ස්ථිර විසඳුම් ලබා දීම සඳහා ඉතිහාසයේ වැඩිම අයවැය ප්‍රතිපාදන 2027 වසරේදී වෙන් කිරීමට ද මෙහිදී තීරණය කෙරිණි. මහනුවර උතුර, මහකොළඹ අපජල කළමනාකරණය, අඹතලේ සහ අනුරාධපුර උතුර ඇතුළු ප්‍රධාන ව්‍යාපෘතිවල කාර්යසාධනය පරීක්ෂාවට ලක් කළ ජනාධිපතිවරයා, යුද්ධයෙන් අවතැන් වූවන් නැවත පදිංචි කිරීමේ වැඩසටහන් කඩිනම් කිරීමටත්, අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් “තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්” ව්‍යාපෘතිය හරහා නිවාස ආධාර ලබා දීමටත් පියවර ගන්නා ලෙස මග පෙන්වා ඇත.
රාජ්‍ය ආයතන ප්‍රතිසංස්කරණය කිරීම තුළින් බලාපොරොත්තු වන්නේ අකාර්යක්ෂමතාවන්ගෙන් තොර, ජනතා කේන්ද්‍රීය සේවාවක් රට තුළ ස්ථාපිත කිරීම වන අතර, මෙවැනි ක්‍රියාමාර්ග මගින් ඉදිරි වසරවලදී ආර්ථික ස්ථාවරත්වය සහ ව්‍යාපෘතිවල පූර්ණ ප්රතිලාභ ජනතාවට ලබා දීම රජයේ ඉලක්කයයි. අත්‍යවශ්‍ය නොවන ආයතන ඉවත් කිරීම සහ පවතින ආයතන වඩාත් විධිමත් කිරීම තුළින් සිදුවන රාජ්‍ය වියදම් පාලනය කෙටි කාලීන සහ දිගු කාලීන දියුණුව උදෙසා අත්‍යවශ්‍ය වන බව පෙනී යයි. නිසි අධීක්ෂණය සහ විනිවිදභාවය මත මෙම ක්‍රියාවලිය සිදුවීම හරහා රාජ්‍ය පරිපාලනයේ ගුණාත්මක වෙනසක් සිදුවනු ඇතැයි අපේක්ෂා කළ හැකි අතර එය රටේ සමස්ත සංවර්ධන ගමනට විශාල ශක්තියක් වනු ඇත.
















