ගොවිතැන රටේ ව්‍යවස්ථාව මඟින් ආරක්ෂා කෙරෙන මූලික අයිතිවාසිකමක් බවට පත් කිරීමට සමගි ජන බලවේගය සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ගොවි ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තුවේ පැවති විශේෂ හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.
මැතිවරණ කාලයට පමණක් ගොවීන් වෙනුවෙන් පෙනී සිටින දේශපාලනඥයන්, මැතිවරණයෙන් පසු ගොවිතැන අසාර්ථක දෙයක් ලෙස සලකා බැහැර කිරීම නිසා ගොවියා ආර්ථික වශයෙන් දැඩි අසීරුතාවකට පත්ව ඇත. බීජ, පොහොර, කෘෂි රසායන සහ යන්ත්‍රෝපකරණ මිල ඉහළ යාම මෙන්ම අලි-මිනිස් ගැටුම වැනි ගැටලු නිසා ගොවීන් සිය දේපළ උගස් කර වගා කටයුතු සිදු කරන තත්ත්වයක් උද්ගතව ඇත. වී කිලෝවක් නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් 137ක පිරිවැයක් දැරීමට සිදුවුවත්, රජයේ ස්ථාවර මිල රුපියල් 120ක් වීම නිසා ගොවීන් ලබන පාඩුව ඉතා විශාල බව සංඛ්‍යා ලේඛන සහිතව ඔහු අවධාරණය කළේය.
















