ඇමෙරිකානු එක්සත් ජනපදය විසින් යුක්රේනයට “පේට්රියට්” (Patriot) මිසයිල ප්රතිරෝධක පද්ධති දේශීයව නිෂ්පාදනය කිරීම සඳහා නිල බලපත්රය ලබාදෙන බව ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් ප්රකාශ කර තිබේ. ආරක්ෂක ආයුධ තමන්ටම නිෂ්පාදනය කර ගැනීමට අවසර දෙන ලෙස යුක්රේනය දිගු කලක් තිස්සේ කර තිබූ ඉල්ලීමකට අනුව මෙම තීරණය ගෙන ඇති අතර, මෙය කියෙව් අගනුවර ලැබූ දැවැන්ත රාජ්ය තාන්ත්රික ජයග්රහණයකි.
අන්කාරා නුවර පැවැත්වෙන නේටෝ (NATO) සමුළුව අතරතුර යුක්රේන ජනාධිපති ව්ලැඩිමීර් සෙලෙන්ස්කි හමු වූ අවස්ථාවේදී ට්රම්ප් මේ බව පවසා ඇති අතර, එහිදී ඔහු සෙලෙන්ස්කි වෙත විශේෂ ප්රශංසාවක් ද එල්ල කර තිබේ. “අපි ඔබට පේට්රියට් මිසයිල හදන්න බලපත්රය දෙනවා. ඒක නියම වැඩක්. එතකොට අපෙන් ප්රමාණවත් තරම් මිසයිල ලැබුණේ නැහැ කියලා ඔබට ආයේ චෝදනා කරන්න බැහැ” යැයි ට්රම්ප් එහිදී පවසා ඇත.
මීට පෙර යුක්රේන නායකත්වය දැඩි ලෙස විවේචනය කළ ට්රම්ප්ගේ මෙම ස්ථාවරය වෙනස් වීම කැපී පෙනෙන අතර, තමන් ඉදිරියේදී රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමඟ ද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














