ශිෂ්‍යභට පුහුණුව යනු හුදෙක් නිල ඇඳුමක් ඇඳ පෙළපාළියක ගමන් කිරීම පමණක් නොව, විනය, කැපවීම, කණ්ඩායම් හැඟීම සහ නායකත්වය වැනි ජීවිතයට අත්‍යවශ්‍ය ගුණාංග ප්‍රගුණ කිරීමක් බව ශ්‍රී ලංකා යුද හමුදාවේ 11 වැනි පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච්.එම්.ජී.බී. හේරත් මහතා ප්‍රකාශ කළේය.
රන්ටැඹේ පිහිටි ජාතික ශිෂ්‍යභට බළකා පුහුණු මධ්‍යස්ථානයේදී පැවැති ශිෂ්‍යභට බාලිකාවන්ගේ විසිර යෑමේ පෙළපාළිය අමතමින් ඒ මහතා දැක්වූ කරුණු කිහිපයක් පහත දැක්වේ.
අභියෝග හමුවේ නොසැලී සිටීමටත්, අසාර්ථක වීම් හමුවේ නැවත නැඟී සිටීමටත්, තීරණ ගැනීමටත් ශිෂ්‍යභට ව්‍යාපාරය මඟින් පුහුණුවක් ලැබෙන බව හෙතෙම පෙන්වා දුන්නේය. තාක්ෂණය සහ කෘත්‍රිම බුද්ධිය වැනි විෂයයන් සමඟ ලෝකය වේගයෙන් වෙනස් වුවද, විනය, අවංකකම, වගකීම, දේශප්‍රේමය සහ මානවවාදය වැනි ගුණාංග කිසිදා වෙනස් නොවන බවත්, එවැනි ගුණාංග කිසිදු විශ්වවිද්‍යාල සහතිකයක් සමඟ ලබා නොදෙන බවත් ඔහු අවධාරණය කළේය.
ජාතික ශිෂ්‍යභට බළකාය යනු ශ්‍රී ලංකාවේ තරුණ පරපුරේ චරිත ස්වභාවය, විනය, නායකත්වය සහ දේශප්‍රේමය ගොඩනැඟීමේ සියවසකට අධික කාලයක් මාතෘභූමිය හා ජාතියට සේවය කරන අභිමානවත් ජාතික ආයතනයකි. 1881 වර්ෂයේදී ආරම්භ වූ මෙම ව්‍යාපාරය හරහා ත්‍රිවිධ හමුදාව, පොලීසිය, රාජ්‍ය සේවය, වෛද්‍ය, ඉංජිනේරු, නීති, අධ්‍යාපන සහ පෞද්ගලික අංශ තුළ සාර්ථක නායකයින් බිහි වී තිබේ.
ශිෂ්‍යභට පුහුණුව මඟින් රටට පෙර තමන් නොව, තමන්ට පෙර රට යන උතුම් සංකල්පය ශිෂ්‍යයින්ගේ හදවත තුළ රෝපණය කෙරේ. අද ඔබ කවුරුන්ද යන්නට වඩා වැදගත් වන්නේ, හෙට ඔබ කවුරුන් වීමට සූදානම් ද යන්නයි. නායකත්වය යනු තනතුරක් නොව, එය වගකීමක්, කැපවීමක්, සේවයක් සහ අන් අයට ආදර්ශයක් වීම බවද සේනාංකාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.
මෙම අවස්ථාව සඳහා ජාතික ශිෂ්‍යභට බළකා රන්ටැඹේ පුහුණු කඳවුරේ සේනා විධායක කර්නල් අනිල් ලියනගේ මහතා ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.














