ශ්‍රී ලාංකීය ජනතාවගේ පෝෂණ මට්ටම ඉහළ නැංවීමේ අරමුණින් සහ දේශීය ආහාර සංස්කෘතිය ප්‍රවර්ධනය කිරීම සඳහා උතුරු මැද පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ අන්තර් පළාත් කෘෂිකර්ම කාර්යාලය එක්ව සංවිධානය කළ “කෘෂි රස – 2026” දේශීය ආහාර භාවිතය හා අලෙවි ප්‍රදර්ශනය පසුගියදා (07) උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණු සහ අදහස්:
දේශීය ආහාර භෝග ආශ්‍රයෙන් නිෂ්පාදිත ආහාර ජනතාව අතර ප්‍රචලිත කිරීම, නව දේශීය ආහාර නිෂ්පාදන හඳුන්වා දීම, නිවැරදි ආහාර පරිභෝජන රටාවන් පිළිබඳ දැනුවත් කිරීම සහ පෝෂණ ගුණාත්මකභාවය පිළිබඳ මහජනතාව දැනුවත් කිරීම මෙම ප්‍රදර්ශනයේ ප්‍රධාන අරමුණු විය.
උතුරු මැද පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ හරිත නිමලනන්ද මහතා ප්‍රකාශ කළේ, පෝෂදායී ආහාර පරිභෝජනයේ අඩුවීම හේතුවෙන් බෝ නොවන රෝගවලට ජනතාව ගොදුරු වීමේ අවදානම ඉහළ යමින් පවතින බවයි. එම තත්ත්වය අවම කිරීම සඳහා පාරම්පරික දේශීය ආහාරවල පෝෂණමය හා ගුණාත්මක වටිනාකම ජනතාව අතර ප්‍රචලිත කිරීම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රමුඛ වගකීමක් බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
මෙම අවස්ථාව සඳහා පළාත් ප්‍රධාන ලේකම් රන්ජන් ජයසිංහ මහතා, ආණ්ඩුකාර ලේකම් නන්දන ගලබොඩ මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ කෘෂිකර්ම උපදේශකවරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
















