නාත්තන්ඩිය හොරකැලේ වත්තේ පිහිටි සිලිකා වැලි නිධිය උපරිම ඵලදායීතාවෙන් යුතුව භාවිතයට ගැනීම සඳහා ‘Silicone City’ නමින් නවීන කර්මාන්තපුරයක් ආරම්භ කිරීමට රජයේ අවධානය යොමු වී තිබේ. මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය ගෙන ඇති පියවර සහ සැලසුම් පහත පරිදි වේ.
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව ඇමැති සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති විශේෂ සාකච්ඡාවකදී, මෙරට ඛනිජ සම්පත් උපරිම අගය එකතු කිරීමකින් යුතුව ජාතික ආර්ථිකයට දායක කරගැනීම පිළිබඳව දීර්ඝව විශ්ලේෂණය කෙරිණි. එහිදී භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය (GSMB) හරහා හොරකැලේ ගොවිපොළ ඉඩමේ සහ ඒ ආශ්රිත සිලිකා වැලි නිධියේ නිශ්චිත ධාරිතාව හා ප්‍රමාණය කඩිනමින් ගණනය කිරීමට එකඟතාව පළ විය.
නාත්තන්ඩිය කේන්ද්‍ර කරගනිමින් සිලිකා වැලි සහ දිවයිනේ වෙනත් ප්‍රදේශවලින් ලබාගත හැකි උසස් තත්ත්වයේ ධමනි තිරිවානා (Vein Quartz) ද උපයෝගි කරගෙන, සිලිකන් ආශ්රිත නිෂ්පාදන සඳහාම වෙන්වූ සුවිශේෂී කර්මාන්තපුරයක් ආරම්භ කිරීමට අවධානය යොමු විය. පරිසර ආරක්ෂණය මූලික කරගනිමින්, වඩාත් ඵලදායී සිලිකන් කර්මාන්ත හඳුනාගැනීම, දේශීය හා විදේශීය ආයෝජකයන් ආකර්ෂණය කරගැනීම සහ ව්‍යාපෘතිය නියාමනය කිරීම සඳහා සියලු රාජ්‍ය ආයතන සම්බන්ධ කරගනිමින් විශේෂ කමිටුවක් පත් කිරීමට මෙහිදී තීරණය කෙරිණි.
පරිසර පද්ධතියට හානි නොවන පරිදි නවීන තාක්ෂණය භාවිත කරමින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත මෙම ව්‍යාපෘතිය මගින් පුත්තලම දිස්ත්‍රික්කයේ රැකියා අවස්ථා රැසක් බිහි කරමින් මෙරට කාර්මික අංශයේ දැවැන්ත දියුණුවක් ඇති කිරීමට අපේක්ෂා කෙරේ.
















