පානීය ජල ක්ෂේත්රයේ පුනරුදයක් ඇති කිරීම අමාත්‍යාංශයේ ප්‍රධාන අරමුණ බවත්, ඒ අනුව ජනතාවට සුරක්ෂිත පානීය ජලය සැපයීමටත්, අඛණ්ඩ ජල සැපයුමක් සහ ගුණාත්මක සේවාවක් සහතික කිරීමටත් පියවර ගෙන ඇති බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන ඇමැති වෛද්‍ය සුසිල් රණසිංහ මහතා ප්‍රකාශ කළේය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා සහ ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති ඉංජිනේරු චන්දන බණ්ඩාර මහතා මෙම කරුණු අනාවරණය කළහ.
ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ අරමුණු:
රුපියල් බිලියන 32ක් වැය කර ඉදි කළ අනුරාධපුර, තඹුත්තේගම ජල සම්පාදන ව්‍යාපෘතිය හෙට (10) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරේ. මගින් තඹුත්තේගම, තලාව සහ ගල්නෑව ප්‍රදේශවල පවුල් 25,000කට ජල පහසුකම් සැලසෙනු ඇත.
එදිනම ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් කැබිතිගොල්ලෑව, හොරොව්පතාන ජල ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කෙරේ. ජයිකා (JICA) ආයතනයේ සහයෝගයෙන් රුපියල් බිලියන 52ක් වැය කරමින් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතියෙන් පවුල් 50,000කට ජලය සැපයීම අරමුණයි. විශේෂයෙන්ම කිවුල් ජල ගැටලුව පවතින මෙම ප්‍රදේශවල ජනතාවට පිරිසුදු ජලය සැපයීම තුළින් හඳුනා නොගත් වකුගඩු රෝගය ව්‍යාප්ත වීම පාලනය කිරීමට අපේක්ෂා කෙරේ.
මේ වසරේ රුපියල් බිලියන 175ක පමණ ආයෝජනයකින් ජල ව්‍යාපෘති කිහිපයක වැඩ අවසන් කිරීමට සහ තවත් ව්‍යාපෘති ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. ලග්ගල ජල ව්‍යාපෘතියේ වැඩ කටයුතු අවසන් වීමට නියමිත අතර, පොල්ගහවෙල, පොතුහැර ව්‍යාපෘතිය ඉදිරි මාස දෙකකින් විවෘත කෙරේ. පවුල් 160,000කට ජලය ලබා දෙන නුවර, පාතදුම්බර ජල ව්‍යාපෘතියද අවසන් අදියරේ පවතී.
ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති ඉංජිනේරු චන්දන බණ්ඩාර මහතා සඳහන් කළේ, දැනට 51%ක් වන ජල සම්පාදන ආවරණය 58% – 60%ත් අතර ප්‍රමාණයකට ගෙන ඒමට පස් අවුරුදු සැලැස්මක් ක්‍රියාත්මක බවයි. සෑම පළාතක්ම ආවරණය වන පරිදි ප්‍රමුඛතා පදනමින් ව්‍යාපෘති දියත් කරමින්, රටේ සියලු ජනතාවට 100%ක් පිරිසුදු පානීය ජලය ලබා දීම මණ්ඩලයේ ඉලක්කය බව ඔහු වැඩිදුරටත් පැවසීය.
















