යම් පුද්ගලයෙකු හෝ එක් අදහසක් මුල් කරගෙන රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම අනාගතයේ බරපතළ නෛතික සහ පරිපාලනමය අර්බුදයකට හේතු විය හැකි බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා අනතුරු අඟවයි.
විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු පෙන්වා දෙන්නේ, රජයේ ප්‍රසාදය දිනූ විනිසුරුවරුන් පිරිසක් තවදුරටත් සේවයේ තබා ගැනීමේ අරමුණින් ඉහළ අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම, පහළ අධිකරණවල විනිසුරුවරුන්ට සිදුකරන බරපතළ අසාධාරණයක් බවයි.
ඔහුගේ ප්‍රකාශයට අනුව විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ තීරණයක් ගන්නේ නම්, එය පහළම අධිකරණයේ සිට ආරම්භ කළ යුතු බවත්, එසේ නොකළහොත් පහළ අධිකරණවල විනිසුරුවරුන් විවිධ විෂමාචාරයන්ට නතුවීමේ අවදානමක් පවතින බවත් ඔහු අවධාරණය කරයි.
මහාධිකරණ විනිසුරුවරුන්ට දැනටමත් බරපතළ අසාධාරණයක් සිදුවන බව පෙන්වා දෙන හිටපු අගවිනිසුරුවරයා පවසන්නේ, ඔවුන්ට සිවිල් අභියාචනා විභාග කිරීමේ බලය හිමිව තිබියදීත් වයස අවුරුදු 61න් විශ්‍රාම යා යුතු බවත්, නමුත් අභියාචනාධිකරණ විනිසුරුවරුන්ට වයස 63 දක්වා සේවය කිරීමට නීතිමය අවකාශ ඇති බවත්ය. මහාධිකරණයේ අභියාචනා විමසීමේ බලය එම විනිසුරුවරුන්ට ලබාදීමට කළ හැකි නම්, ඔවුන්ට විශ්‍රාම යෑම සඳහා ද අභියාචනාධිකරණ විනිසුරුවරුන්ට මෙන් වයස 63 අදාළ කර ගත යුතු බව හෙතෙම යෝජනා කරයි.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ ජාත්‍යන්තර නීතිඥ සංවිධාන දැනටමත් මෙම යෝජනාවට දැඩි විරෝධයක් පළ කර තිබේ. කිසිදු අධ්‍යයනයකින් තොරව හදිසියේ ගෙන ආ මෙම යෝජනාව වහා ඉවත් කර නොගතහොත් එය රටට බරපතළ හානියක් වනු ඇති බවත්, මෙවැනි කාරණාවලදී පාර්ලිමේන්තුවේ විපක්ෂයට විශාල වගකීමක් පැවරෙන බවත් සරත් එන්. සිල්වා මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.
















