පැහැදිලි හෝ නීත්‍යානුකූල ආදායම් මාර්ගයක් නොමැතිව හදිසියේම අධික ලෙස ධනවත් වූ සහ සුඛෝපභෝගී ජීවිත ගත කරන පුද්ගලයන් පිළිබඳව තොරතුරු සපයන ලෙස ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) ඇතුළු නීතිය ක්‍රියාත්මක කරන ආයතන විසින් නීති විරෝධී ලෙස උපයාගත් වත්කම් සම්බන්ධයෙන් සිදුකරන පුළුල් විමර්ශනවල කොටසක් ලෙස මෙම පියවර ගෙන තිබේ.
විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම සහ අනෙකුත් නීති විරෝධී ක්‍රියාවන් හරහා උපයාගෙන ඇති බවට සැකකෙරෙන දේපල සහ වත්කම් ඉලක්ක කර ගනිමින් දිවයින පුරා මෙහෙයුම් ක්‍රියාත්මක වන බව පොලිසිය පවසයි. සමාජයේ යහපැවැත්ම උදෙසා මෙවැනි සැකකටයුතු පුද්ගලයන් සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව පොලිසිය වෙත තොරතුරු ලබාදී සහයෝගය දක්වන ලෙස පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් අවධාරණය කරයි.
















