මධ්‍යම රජයේ අනුමැතිය ලැබෙන තෙක් ප්‍රමාද නොවී, දිස්ත්‍රික්ක තුළ ඇති වන හදිසි මාර්ග, පාලම් සහ පොදු ගොඩනැගිලි ප්‍රතිසංස්කරණ කටයුතු සෘජුවම සිදු කිරීම සඳහා සෑම දිස්ත්‍රික්කයකටම වෙනමම “හදිසි ප්‍රතිපාදන අරමුදලක්” ලබන අයවැයෙන් වෙන් කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද පැවැති දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සමුළුව අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. මෙමඟින් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම්වලදී හඳුනාගන්නා හදිසි ව්‍යාපෘති වඩාත් කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීමට දිස්ත්‍රික් ලේකම්වරුන්ට අවස්ථාව ලැබෙන බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
එමෙන්ම ලබන වසරේදී යුද්ධයෙන් අවතැන් වූ පවුල් 13,000ක් නැවත පදිංචි කිරීමට සහ ඔවුන්ගේ දිගුකාලීන නිවාස ගැටලුවලට කඩිනම් විසඳුම් දීමට රජය සැලසුම් කර ඇති බව මෙහිදී අනාවරණය විය. කෙසේ වෙතත් ගංවතුර සහ නායයෑම් අවදානම සහිත ඉහළ අවදානම් කලාපවල නැවත පදිංචි කිරීම් සිදු නොකරන ලෙසත්, එවැනි ස්ථාන සඳහා විදුලිය හෝ ජල සබඳතා අනුමත නොකරන ලෙසත් ජනාධිපතිවරයා නිලධාරීන්ට දැඩිව උපදෙස් දුන්නේය.
මීට අමතරව මධ්‍යම කඳුකරයේ පාරිසරික වශයෙන් සංවේදී ඉඩම් කළමනාකරණය සඳහා විශේෂ ව්‍යවස්ථාපිත අධිකාරියක් පිහිටුවීමට අදාළ පනත් කෙටුම්පත දැනටමත් සකස් කර ඇති අතර, එහි වැඩකටයුතු ලබන වසරේ සිට ආරම්භ කිරීමට නියමිතය. අවසාන වශයෙන්, සැබවින්ම අවශ්‍ය නමුත් දැනට අතරමං කර දමා ඇති නිවාස ව්‍යාපෘති හඳුනාගෙන ඒවා නැවත ආරම්භ කරන බව පැවසූ ජනාධිපතිවරයා, රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා ඵලදායී නොවන රාජ්‍ය ආයතන වසා දැමීම ඇතුළු පුළුල් රාජ්‍ය අංශයේ ප්‍රතිසංස්කරණවලට රජය කැපවී සිටින බව ද අවධාරණය කළේය.
















