ගිනිකොනදිග චීනයේ ජින්ජියැං නගරයේ පිහිටි සපත්තු නිෂ්පාදන කර්මාන්ත ශාලාවක අද (09) දහවල් හටගත් දැවැන්ත ගින්නකින් අවම වශයෙන් පුද්ගලයන් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව චීන රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි. ගින්න හටගත් අවස්ථාවේදී කර්මාන්ත ශාලාවේ වහලය මත සේවකයන් පිරිසක් සිරවී උපකාර ඉල්ලා සිටි අතර, වහා ක්‍රියාත්මක වූ සහන සේවා නිලධාරීන් සිය ගණනක් එක්ව එහි සිටි 200කට අධික පිරිසක් ආරක්ෂිතව බේරාගෙන ඇතත්, තුවාල ලැබූ සංඛ්‍යාව මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැත.
මෙම ශෝචනීය සිදුවීම පිළිබඳව දැඩි කනගාටුව පළ කරමින් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ප්‍රකාශ කළේ, අනතුරට හේතුව වහාම සෙවිය යුතු බවත්, ඊට වගකිව යුතු හෝ නොසැලකිලිමත් ලෙස කටයුතු කළ පුද්ගලයන්ට එරෙහිව තරාතිරම නොබලා දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත්ය. ලෝක සමස්ත සපත්තු නිෂ්පාදනයෙන් 20%කට ආසන්න ප්‍රමාණයක් සපයමින්, වාර්ෂිකව සපත්තු යුගල බිලියන 1.2 කට වඩා වෙළෙඳපොළට නිකුත් කරන ජින්ජියැං නගරය ලෝකයේම ‘සපත්තු අගනුවර’ ලෙස ප්‍රකටය.
















