පසුගිය ජුනි මාසයේදී යුරෝපය පුරා සතියකට වැඩි කාලයක් පැවති දැඩි උණුසුම් කාලගුණය හේතුවෙන් ජර්මනිය තුළ පමණක් පුද්ගලයන් 5,120කට අධික පිරිසක් මියගොස් ඇති බව එරට ප්‍රධාන මහජන සෞඛ්‍ය ආයතනය වන රොබට් කොක් ආයතනය (RKI) නිවේදනය කළේය. මෙලෙස මියගිය පිරිසෙන් 4,270ක්ම වයස අවුරුදු 75 හෝ ඊට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් බව එම ආයතනය පෙන්වා දෙයි. ජුනි අග භාගයේදී ජර්මනියේ ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්මවා ගිය අතර, එරට රෝහල් සහ වැඩිහිටි නිවාස ඇතුළු බොහෝ ගොඩනැගිලි මෙවැනි අධික උෂ්ණත්වයකට ඔරොත්තු දෙන පරිදි වායුසමීකරණ පද්ධති සහිතව සකස් කර නොතිබීම මරණ සංඛ්‍යාව ඉහළ යාමට ප්‍රධාන හේතුවක් වී තිබේ.
ජර්මනියට අමතරව ප්‍රංශය, ස්පාඤ්ඤය, නෙදර්ලන්තය සහ බෙල්ජියම යන රටවලින් ද මෙම උණුසුම් රැල්ල හේතුවෙන් දහස් සංඛ්‍යාත මරණ වාර්තා වී ඇත. යුරෝපා සංගමයේ කොපර්නිකස් දේශගුණික විපර්යාස සේවාව පවසන පරිදි, මෙවර වාර්තා වී ඇත්තේ ලොව මෙතෙක් වාර්තා වූ උණුසුම්ම ජුනි මාසය වන අතර එය සාමාන්‍ය උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක 3කින් ඉහළ අගයකි. ෆොසිල ඉන්ධන දහනය හේතුවෙන් සිදුවන මිනිස් ක්‍රියාකාරකම් මත පදනම් වූ දේශගුණික විපර්යාසයන් නිසා වායුගෝලයේ තාපය සිරවීමෙන් ඉදිරියටත් මෙවැනි මාරාන්තික උණුසුම් රළ දීර්ඝ කාලයක් පැවතිය හැකි බව විද්‍යාඥයෝ අනතුරු අඟවති.
















