ඇමෙරිකානු ආරක්ෂක අංශ විසින් ඉරානයේ විවිධ ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් එල්ල කරන ලද ගුවන් ප්‍රහාර, පකිස්තානයේ මැදිහත්වීමෙන් ඇති කරගත් ඉස්ලාමාබාද් අවබෝධතා ගිවිසුම සහ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය මුළුමනින්ම උල්ලංඝනය කිරීමක් බව ඉරාන විදේශ අමාත්‍ය සෙයියද් අබ්බාස් අරාග්චි ප්‍රකාශ කර තිබේ. Geo News පුවත් සේවය වාර්තා කරන අන්දමට, ඉරාන විදේශ අමාත්‍යවරයා මේ බව අවධාරණය කර ඇත්තේ පකිස්තාන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් අසීම් මුනීර් සමඟ අද (ජූලි 09) සන්ද්‍යාවේ පැවැත්වූ හදිසි දුරකථන සාකච්ඡාවකදීය.
දෙරට අතර පවතින මිලිටරි ගැටුම් නිමා කරමින් පසුගිය ජුනි 17 වැනිදා පකිස්තානයේ ප්‍රධානත්වයෙන් මෙම තාවකාලික සාම එකඟතාව අත්සන් තැබූ නමුත්, ඇමෙරිකානු නිලධාරීන් එම එකඟතාවලට ගරු නොකරන බවට සිදුකරන ප්‍රකාශයන් මගින් වොෂින්ටනයේ යුදකාමී ප්‍රතිපත්තිය පැහැදිලි වන බව ඉරාන විදේශ අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දී ඇත. ඇමෙරිකානු මිලිටරි අංශවල ඕනෑම ආකාරයක නව මැදිහත්වීමකට එරෙහිව දැඩි අනතුරු ඇඟවීමක් කර ඇති අරාග්චි, තම රටේ ස්වෛරීභාවය, භූමියේ අඛණ්ඩතාව සහ ජාතික ආරක්ෂාව වෙනුවෙන් ඉරාන සන්නද්ධ බලඇණි නොපසුබටව නැගී සිටින බව පකිස්තාන හමුදා ප්‍රධානියා වෙත වැඩිදුරටත් සන්නිවේදනය කර තිබේ.
















