ශ්‍රී ලංකාවේ වකුගඩු ගල් රෝගයෙන් පීඩා විඳින රෝගීන්ට කඩිනම් ප්‍රතිකාර ලබාදීම සහ දැනට පවතින 5,000 කට අධික ශල්‍යකර්ම පොරොත්තු ලේඛනය අවම කිරීම අරමුණු කරගනිමින් ඉදිකළ “මීරිගම ජාතික වකුගඩු ගල් ඉවත් කිරීමේ ප්‍රතිකාර මධ්‍යස්ථානය” ලබන ජූලි 12 වනදා පෙරවරුවේ ජනතා අයිතියට පත් කෙරේ. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මධ්‍යස්ථානය විවෘත කිරීමට නියමිතය. ශ්‍රී ලංකා මූත්‍රා රෝග ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ (SLAUS) තාක්ෂණික සහයෝගය ඇතිව ක්‍රියාත්මක වන මෙම ජාතික ව්‍යාපෘතිය සඳහා ප්‍රකට ව්‍යවසායක ඉංජිනේරු නහිල් විජේසූරිය මහතා විසින් නවීන වෛද්‍ය උපකරණ රැසක් පරිත්‍යාග කර තිබේ.
රජයේ සෞඛ්‍ය සේවයේ නියුතු සියලුම විශේෂඥ මූත්‍රා රෝග ශල්‍ය වෛද්‍යවරුන්ට දිවයිනේ විවිධ ප්‍රදේශවල සිටින තම රෝගීන් මෙම මධ්‍යස්ථානය වෙත රැගෙන විත් නවීන එන්ඩොයුරොලොජිකල් තාක්ෂණය ඔස්සේ ශල්‍යකර්ම සිදු කිරීමට මෙහිදී අවස්ථාව සලසා දී ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු ප්‍රභූන් පිරිසක් මෙම විවෘත කිරීමේ අවස්ථාවට එක්වීමට නියමිතය.
















