ස්විට්සර්ලන්ත තානාපතිනි ආචාර්ය සිරී වෝල්ට් මහත්මිය සහ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා අතර නිල හමුවක් ඊයේ (08) පස්වරුවේ අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි. වසර දෙකක සිය ධුර කාලය අවසන් කර මෙරටින් පිටත්ව යාමට නියමිත තානාපතිනිය, දශක හතකට අධික දෙරටේ රාජතාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමට දුන් දායකත්වය අමාත්‍යවරයාගේ ඉහළ ඇගයීමට ලක්විය. ශ්‍රී ලංකා–ස්විට්සර්ලන්ත පාර්ලිමේන්තු මිත්‍රත්ව සංසදය නැවත සක්‍රීය කිරීමට ඇය දැක්වූ සහය මෙන්ම, ස්වාභාවික විපත් සහ ගෝලීය අර්බුද හමුවේ ස්විට්සර්ලන්තය දුන් සහයෝගය ද මෙහිදී සිහිපත් කෙරිණි. ජාතික ජන බලවේග රජය තමන්ට දුන් සහයෝගයට ස්තුතිය පළ කළ තානාපතිනිය, ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන ඉලක්ක වෙනුවෙන් සැමවිටම පෙනී සිටින බව ද අවධාරණය කළාය.
















