දිවයින පුරා ඩෙංගු රෝග ව්‍යාප්තිය අතිශය අවදානම් සහගත මට්ටමකට පත්ව ඇති අතර, කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් ඩෙංගු මර්දන කටයුතුවල සක්‍රියව නියැළී සිටි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් (PHI) 8 දෙනකුට රෝගය වැලඳී ඇති බව මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. මේ වන විට රට පුරා වාර්තා වන සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව 45ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර, මේ වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් රෝගීන් 65,034ක් හඳුනාගෙන තිබේ. ජූලි මාසයේ පළමු දින 8 තුළ පමණක් රෝගීන් 9,654ක් වාර්තා වී ඇති අතර, වැඩිම රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවලින් වාර්තා වන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.
මේ අතර මෙරට ප්‍රධාන විශ්වවිද්‍යාල පරිශ්‍රයන් තුළ ද ඩෙංගු රෝගය බෝවීම කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ. මීට පෙර කොළඹ සෞන්දර්ය සහ මොරටුව විශ්වවිද්‍යාල තාවකාලිකව වසා දැමූ අතර, මේ වන විට කොළඹ විශ්වවිද්‍යාලයෙන් ද ඩෙංගු රෝගීන් 71 දෙනකු වාර්තා වීම හේතුවෙන් එහි පීඨ හතරක අධ්‍යයන කටයුතු සතියක කාලයකට මාර්ගගත (Online) ක්‍රමයට සිදු කිරීමට පාලනාධිකාරිය තීරණය කර ඇත. රුහුණ විශ්වවිද්‍යාලයේ සිසුවියක් ද ඩෙංගු වැලඳීමෙන් මියගොස් තිබේ. රෝගීන් වාර්තා වීම අධික වීම නිසා ප්‍රධාන රෝහල් කිහිපයකම ධාරිතාව උපරිම මට්ටමට පැමිණ ඇති අතර, පවතින අවදානම හමුවේ ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ද සම්බන්ධ කරගනිමින් රජය විසින් දැඩි මර්දන වැඩසටහන් සහ නීතිමය පියවර ක්‍රියාත්මක කරමින් පවතී.
















