තේ කර්මාන්තයේ ඉදිරි ප්‍රවර්ධනය සහ කුඩා තේ වතු හිමියන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක කෙරෙන ‘Ceylon Tea Villages’ පොකුරු තේ ගම්මාන 500ක් ආරම්භ කිරීමේ ජාතික වැඩසටහන ජූලි 15 වැනිදා ආරම්භ කෙරේ. මෙහි සමාරම්භක උත්සවය එදින පෙරවරු 9.00ට නුවරඑළිය, කොත්මලේ, හල්ගොල්ල ග්‍රාමයේදී පැවැත්වීමට නියමිතය.
වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා ප්‍රකාශ කළේ, දිවයිනේ තේ වගාව සිදු කරන දිස්ත්‍රික්ක 11ක් ආවරණය වන පරිදි මෙම වැඩසටහන එදිනම ක්‍රියාත්මක කරන බවයි. කුඩා තේ වතු හිමියන් සංවිධානය කරමින් ඔවුන්ගේ දලු අස්වැන්න සහ ආදායම ඉහළ නංවා, ඔවුන් ව්‍යවසායකයන් බවට පත් කිරීම මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණයි. 2030 වසර වන විට මෙරට තේ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 2.5 දක්වා ඉහළ නැංවීමේ ජාතික ඉලක්කය සපුරා ගැනීම සඳහා මෙය රුකුලක් වනු ඇත.
වැඩසටහන ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් අමාත්‍යවරයා දැක්වූ කරුණු:
මෙම වසරේදී තේ ගම්මාන 144ක් ආරම්භ කෙරෙන අතර, එය දේශීය තේ පරීක්ෂක කොට්ඨාස 144කට සමගාමීව සිදුවේ.
මෙරට සමස්ත තේ නිෂ්පාදනයෙන් 75%ක්ම දායක කරනු ලබන්නේ අක්කර 10ට අඩු ප්‍රමාණයක් වගා කරන කුඩා තේ වතු හිමියන් විසිනි.
මෙම අංශය ආශ්‍රිතව ලක්ෂ 4කට අධික පවුල් සංඛ්‍යාවක් ජීවිකාව සරිකර ගන්නා අතර, හෙක්ටයාර් 158,000කට අධික භූමි ප්‍රමාණයක් තේ වගාව සඳහා භාවිත කෙරේ.
පසුගිය වසරේදී තේ අපනයනය හරහා ඇමෙරිකානු ඩොලර් බිලියන 1.51ක ආදායමක් උපයා ඇති අතර, 2030 වසරේදී සමස්ත අපනයන ආදායම ඩොලර් බිලියන 36ක් දක්වා ඉහළ නැංවීමේ රජයේ සැලැස්මේ කොටසක් ලෙස තේ අපනයන ආදායම ඩොලර් බිලියන 2.5 දක්වා ඉහළ නැංවීමට ඉලක්ක කර ඇත.
















