ඩෙංගු මර්දන කටයුතුවල සක්‍රියව නිරත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් (PHI) පිරිසක් ද මේ වන විට ඩෙංගු රෝගයට ගොදුරු වී සිටින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් සෞඛ්‍ය පරීක්ෂකවරුන් 8 දෙනෙකුට රෝගය වැළඳී ඇති අතර, ඔවුන් බහුතරයක් ඩෙංගු අවදානම් කලාප ලෙස නම් කර ඇති ප්‍රදේශවල රාජකාරි කටයුතු සිදු කළ අය බව සංගමයේ උපසභාපති කේ.පී.ඒ. බොරලැස්ස මහතා සඳහන් කළේය.
මේ අතර, ඩෙංගු ව්‍යාප්තියේ වර්ධනයක් විශ්වවිද්‍යාල පරිශ්‍රයන් තුළ ද දක්නට ලැබේ. කොළඹ සෞන්දර්ය සහ මොරටුව විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇති අතර, කොළඹ විශ්වවිද්‍යාලයෙන් ද ඩෙංගු රෝගීන් 71 දෙනෙකු වාර්තා වී ඇත. ඒ අනුව, එම විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර, නීති, අධ්‍යාපන සහ කළමනාකරණ පීඨවල අධ්‍යයන කටයුතු සතියක කාලයක් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ (Online) සිදු කිරීමට තීරණය කර තිබේ. රුහුණ විශ්වවිද්‍යාලයේ සිසුවියක් ද ඩෙංගු හේතුවෙන් මියගොස් ඇති බව වාර්තා වේ.
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර මහතා පවසන්නේ මේ වන විට ඩෙංගු මරණ සංඛ්‍යාව 45ක් දක්වා ඉහළ ගොස් ඇති බවත්, සමස්ත රෝගීන් සංඛ්‍යාව 65,034ක් බවත්ය. රෝහල්වල පවතින රෝගීන්ගේ තදබදය හේතුවෙන් සෞඛ්‍ය පද්ධතියට දැඩි පීඩනයක් එල්ල වී තිබේ.
කෙසේ වෙතත්, රජය විසින් ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ද සම්බන්ධ කර ගනිමින් ඩෙංගු මර්දන ක්‍රියාන්විතයන් දැඩිව ක්‍රියාත්මක කර ඇත. නීති උල්ලංඝනය කරන්නන් වෙත රතු නිවේදන නිකුත් කිරීම, දඩ මුදල් අය කිරීම සහ අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම ඇතුළු දැඩි නීතිමය පියවර මේ වන විටත් ගෙන ඇත.
















