ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීමටත්, මෙරට සෞඛ්‍ය සේවාව ජාත්‍යන්තර මට්ටමේ ගුණාත්මක තලයකට ඔසවා තැබීමටත් විද්‍යාත්මක පදනමක් සහිත උපායමාර්ගික යෝජනා කඩිනමින් ඉදිරිපත් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ අංශවලට උපදෙස් ලබා දී තිබේ. සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශවල 2026 අයවැය ව්‍යාපෘතිවල ප්‍රගති සමාලෝචනය සහ 2027 අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේය.
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගතිය සහ ඉදිරි සැලසුම් පිළිබඳව අවධානය යොමු වූ කරුණු කිහිපයක් තිබේ. මීට පෙර අතරමඟ නතරව තිබූ මොනරාගල රෝහලේ පස් මහල් ගොඩනැඟිල්ල, ත්‍රිකුණාමලය, අම්පාර සහ හලාවත රෝහල්වල හදිසි අනතුරු ඒකක ඇතුළු ඉදිකිරීම් ව්‍යාපෘති 26ක් යළි ආරම්භ කර ඇති අතර, මේ වන විට මුළු ව්‍යාපෘති 48ක් ක්‍රියාත්මක වෙමින් පවතී. ‘ආරෝග්‍යා සුව සේවා මධ්‍යස්ථාන’ ජාලයක් ගොඩනැඟීම හරහා පෞද්ගලික අංශයේ සෞඛ්‍ය සේවා සඳහා ජනතාව වැය කරන මුදල් බර අවම කිරීමට රජය බලාපොරොත්තු වේ.
සුවසැරිය සේවාව ශක්තිමත් කිරීම, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල ගිලන් රථ පමණක් භාවිත කිරීම සහ ඖෂධ ප්‍රසම්පාදනයේදී පවතින ගැටලුවලට තාක්ෂණික විසඳුම් සෙවීම සිදු කෙරේ. එමෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රය ඩිජිටල්කරණය යටතේ ‘පේෂන්ට් හෙල්ත් ඇප්’ (Patient Health App), ටෙලි මෙඩිසින් (Tele-medicine) සහ රෝගීන්ගේ වාර්තා ඕනෑම රෝහලකින් ලබා ගත හැකි ඒකාබද්ධ ජාලයක් (National Electronic Health Record) ස්ථාපිත කිරීමේ කටයුතු සමාලෝචනය කෙරිණි.
සියලු මාධ්‍යවේදීන්ට සහ රජයට තොරතුරු හුවමාරු කර ගත හැකි විශේෂ මාධ්‍ය මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කිරීමට යෝජනා වී ඇති අතර, තැපැල් සහ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තු නවීකරණය කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. සෞඛ්‍ය කාර්ය මණ්ඩල බඳවා ගැනීම් සහ නවක වෛද්‍යවරුන් මුහුණ දෙන ගැටලු විසඳීම සඳහා මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර විධිමත් තීරණ ගැනීමට ද මෙහිදී තීරණය කෙරිණි.
















