ව්‍යාපාර සහ සෙසු මූල්‍ය කටයුතු සිදු කිරීමේදී වඩාත් විශ්වාසවන්ත සහ යහපත් මූල්‍ය ගනුදෙනු පරිසරයක් නිර්මාණය කිරීම අරමුණු කරගනිමින් නව අණපනත් සංශෝධන හඳුන්වා දෙන බව කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ලංකාව තුළ ගනුදෙනු සඳහා වලංගු මුදල් ඒකකය රුපියල පමණක් බවත්, ක්‍රිප්ටෝ කරන්සි (Crypto currency) මෙරට නීත්‍යනුකූල නොවන බවත්ය. තාක්ෂණය භාවිත කරමින් සිදු කෙරෙන ගේමින් වැනි ක්‍රියාකාරකම් නියාමනය කිරීම සඳහා විශේෂ අධිකාරියක් ස්ථාපිත කර ඇති බවත්, එමඟින් දූෂණ සහ වංචා අවම කිරීමට පියවර ගන්නා බවත් ඔහු පැවසීය.
මූල්‍ය විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැනි ක්‍රියාවලීන් වැළැක්වීම සඳහා ගෙන ඇති පියවර පිළිබඳව ද අමාත්‍යවරයා කරුණු දැක්වීය. මහ බැංකුව යටතේ ක්‍රියාත්මක වන මූල්‍ය බුද්ධි ඒකකය හරහා සැකකටයුතු මුදල් ගනුදෙනු පිළිබඳව සොයා බැලීම සිදු කෙරේ. මෙතෙක් සැකකටයුතු ගනුදෙනුවක් පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමට තිබූ දින 7ක කාලසීමාව, මෙම නව සංශෝධනය හරහා වැඩ කරන දින 14ක් දක්වා දීර්ඝ කර තිබේ.
ආනයනකරුවන් සහ බැංකු පද්ධතිය ඒකාබද්ධව සංවිධානාත්මකව සිදු කරන ලද නීතිවිරෝධී ඩොලර් විදේශගත කිරීම් සම්බන්ධයෙන් දැඩි දණ්ඩන නීති හඳුන්වා දී ඇති බව ද අමාත්‍යවරයා පැවසීය. බදු පැහැර හැරීම් සහ වැරදි ලෙස උපයාගත් ධනය ‘ලේයරින්’ (Layering) ක්‍රමය හරහා සුදු කිරීම වැළැක්වීම සඳහා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව මෙම නීති සංශෝධන සිදු කරන බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
















