මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ගලගෙදරින් අවසන් වුවද, එය තවදුරටත් ගන්නෝරුව දක්වා දීර්ඝ කිරීමට සැලසුම් කර ඇති බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා ඊයේ (09) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ මහනුවර ප්‍රදේශයේ මාර්ග තදබදය අවම කිරීම සඳහා කෙටි කාලීන සහ දිගු කාලීන පියවර රැසක් ගෙන ඇති බවයි. එහිදී ගලගෙදර – කටුගස්තොට මාර්ගය පුළුල් කිරීම, මහයියාව උමඟ මේ වසර අග වන විට අවසන් කිරීම, විලියම් ගොපල්ලව මාවත ප්‍රතිසංස්කරණය කිරීම සහ පේරාදෙණිය පරණ පාලම අලුත්වැඩියා කිරීම යන කටයුතු සිදු කෙරෙන බව ඔහු පැවසීය.
මීට අමතරව ‘දිට්වා’ හේතුවෙන් හානියට පත්වූ කොළඹ – මහනුවර උඩරට ප්‍රධාන දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා අදහස් දැක්වීය. දුම්රිය මාර්ගයේ හානි වූ ඇතැම් ස්ථානවලට ප්‍රවේශ වීම පවා අපහසු බැවින්, අතුරු මාර්ග හදාගෙන දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමට ප්‍රවේශ මාර්ග සකස් කරමින් සිටින බව ඔහු පැවසීය. වත්තේගම – මාතලේ කොටස හැරුණු විට, අනෙකුත් සියලුම දුම්රිය මාර්ග කොටස් මේ වසර අග හෝ ලබන වසරේ ජනවාරි – පෙබරවාරි මාස වන විට අවසන් කිරීමට අපේක්ෂා කෙරේ. වත්තේගම සිට මාතලේ දක්වා වන කොටස ප්‍රතිසංස්කරණය කිරීමට තවත් මාස හයක පමණ කාලයක් ගත විය හැකිය.
ඉංජිනේරු සැලසුම් සහ ඉදිකිරීම් සඳහා ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය (NBRO) සහ දුම්රිය දෙපාර්තමේන්තුව එකාබද්ධව පසුගිය මාස හතරක කාලය තුළ දැඩි උත්සාහයකින් කටයුතු කරමින් සිටින බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
















