පවතින ඩෙංගු වසංගත තත්ත්වය හමුවේ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබන රෝගී දරුවන් සහ කාර්ය මණ්ඩලය ආරක්ෂා කර ගැනීම සඳහා විශේෂ ඒකාබද්ධ වාහක පාලන වැඩසටහනක් අද (10) දින පුරා ක්‍රියාත්මක කෙරිණි.
රෝහල් පරිශ්‍රය සහ අවට ප්‍රදේශය සම්පූර්ණයෙන් ආවරණය වන පරිදි ක්‍රියාත්මක වූ මෙම දැවැන්ත ශ්‍රමදාන වැඩසටහනේදී මදුරුවන් බෝවන සහ බෝවිය හැකි ස්ථාන විනාශ කිරීම, ධූමකරණ කටයුතු සිදු කිරීම, රෝහල් පරිශ්‍රය සහ වැහි පිහිලි පිරිසිදු කිරීම මෙන්ම නව ගොඩනැගිලි ඉදිකිරීම් ආශ්රිත ප්‍රදේශ පිරිසිදු කිරීම වැනි ක්‍රියාකාරකම් සිදු කරන ලදී.
මෙම වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් රිජ්වේ ආර්යා ළමා රෝහලේ වැඩබලන අධ්යක්ෂ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර මහතා සඳහන් කළේ, පසුගිය සති දෙක තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ යාම හේතුවෙන් රෝහල් පද්ධතිය කළමනාකරණය කර ගැනීම අභියෝගාත්මක වී ඇති බවයි. මීට පෙර රෝහලේ දිනකට ඩෙංගු රෝගී දරුවන් 50-75ක් පමණ වාර්තා වුවද, මේ වන විට එම තත්ත්වයේ යම් අඩුවක් දක්නට ලැබෙන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.
රෝහල් භූමිය කළාප 04කට බෙදා පැය 06ක කාලසීමාවක් තුළ ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන සඳහා රෝහල් කාර්ය මණ්ඩලය, රෝහල් කමිටු සාමාජිකයින්, ත්‍රිවිධ හමුදා නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ කොළඹ මහා නගර සභාවේ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
















