මධ්‍යම පරිසර අධිකාරිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ එක්ව නෙස්ලේ ලංකා සමාගම විසින් සංවිධානය කරන ලද සමස්ත ලංකා කෙටි වීඩියෝ තරඟාවලිය පසුගියදා සාර්ථකව අවසන් විය. 2026 ලෝක පරිසර දිනයට සමගාමීව ‘නිසි අපද්‍රව්‍ය කළමනාකරණය තුළින් දේශගුණ විපර්යාස අවම කිරීමට දායක වෙමු’ යන තේමාව යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.
අනාගත පරපුර තුළ අපද්‍රව්‍ය නිවැරදිව බැහැර කිරීම පිළිබඳ දැනුවත්භාවය වර්ධනය කිරීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක කෙරුණු මෙම තරඟාවලියේ ජයග්‍රාහකයින් ඇගයීමේ උත්සවය පසුගිය ජූනි 25 වන දින මධ්‍යම පරිසර අධිකාරි පරිශ්‍රයේදී පැවැත්විණි. ඒ සඳහා පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය තිලක් හේවාවසම් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ නෙස්ලේ ලංකා සමාගමේ නියෝජිතයින් පිරිසක් සහභාගී වූහ.
තරඟාවලිය පිළිබඳව අදහස් දැක්වූ නෙස්ලේ ලංකා සමාගමේ ආයතනික සබඳතා හා සන්නිවේදන අධ්‍යක්ෂ රුවන් වැලිකල මහතා සඳහන් කළේ, ශ්‍රී ලංකාව තුළ සිය 120 වන වසර සමරන අවස්ථාවේදී මෙවැනි වැඩසටහන් හරහා චක්‍රීය ආර්ථිකයක් ප්‍රවර්ධනය කිරීමට සහ ප්‍රජාවන් වෙනුවෙන් හවුල් වටිනාකම් නිර්මාණය කිරීමට සමාගම දක්වන කැපවීම මැනවින් පිළිබිඹු වන බවයි.
ප්‍රවීණ විනිශ්චය මණ්ඩලයක් විසින් ඇගයීමට ලක් කෙරුණු මෙම තරඟාවලියේදී පාසල් ඒකල අංශයෙන් පළමු ස්ථානය තෙලිජ්ජවිල මධ්‍ය මහා විද්‍යාලයේ බිනදි ජිහන්සා බස්නායක විසින් ද, දෙවන ස්ථානය එම විද්‍යාලයේම යූ. ජේ. සයුනි තරුමින්දි විසින් ද දිනා ගන්නා ලදී. පාසල් කණ්ඩායම් අංශයේ තෙවන ස්ථානය තෙලිජ්ජවිල මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් කණ්ඩායමක් විසින් දිනා ගැනීමට සමත් විය.
සෞඛ්‍ය සම්පන්න පවුල් සහ හරිත ග්‍රහලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නෙස්ලේ ලංකා සමාගම නිරන්තරයෙන් කැපවී සිටින අතර, ඔවුන්ගේ නිෂ්පාදනවලින් 90%කට වඩා වැඩි ප්‍රමාණයක් කුරුණෑගල පිහිටි අතිනවීන කර්මාන්තශාලාවේදී දේශීයව නිෂ්පාදනය කරනු ලබයි.
















