හිටපු අමාත්‍ය ටිරාන් අලස් මහතා අත්අඩංගුවට ගැනීම වළක්වන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ‘සීලෝන් නිවුස් පේපර්ස්’ පුද්ගලික සමාගම විසින් ගොනු කළ රිට් පෙත්සම සලකා බැලීම සඳහා අභියාචනාධිකරණය විසින් මෙම මස 30 වැනිදා දින නියම කර තිබේ.
මෙම පෙත්සම අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන ශෂී මහේන්ද්‍ර සහ ප්‍රදීප් හෙට්ටිආරච්චි යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ කැඳවන ලදී.
පෙත්සම්කාර සමාගම සහ ‘කේත්සර ලංකා’ පුද්ගලික සමාගම අතර සිදු වූ චෙක්පත් ගනුදෙනුවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් ආරම්භ කර ඇති විමර්ශනයක් පදනම් කර ගනිමින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත. එම සිද්ධිය සම්බන්ධයෙන් දැනටමත් සමාගමේ සේවකයන් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති අතර, තම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා වන ටිරාන් අලස් මහතා ඕනෑම මොහොතක අත්අඩංගුවට ගැනීමේ අවදානමක් පවතින බව පෙත්සම්කාර පාර්ශවය පෙන්වා දෙයි.
ටිරාන් අලස් මහතා අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීම නීතියට පටහැනි බව තර්ක කරන පෙත්සම්කාර සමාගම, අදාළ විමර්ශන අවසන් වන තෙක් ඔහුව අත්අඩංගුවට ගැනීම වළක්වන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා සහ කේත්සර ලංකා පුද්ගලික සමාගම ඇතුළු පාර්ශව කිහිපයක් නම් කර ඇත.
















