ශ්‍රී ලංකාවේ ඩිජිටල් බැංකුකරණ ක්ෂේත්රයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ලංකා බැංකුව (BOC) සිය නවතම “BOC Flex – Tap & Pay” සේවාව පසුගියදා (2026 ජූලි 9) දියත් කරන ලදී. ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට Mobile Banking Wallet එකක් පදනම් කරගෙන ක්‍රියාත්මක වන මෙම ස්පර්ශ රහිත ගෙවීම් විසඳුම මඟින් ගනුදෙනුකරුවන්ට ඉතා ආරක්ෂිත සහ පහසු අත්දැකීමක් ලබා දීම අරමුණු කරයි.
මෙම සේවාව හරහා NFC සක්‍රීය POS යන්ත්‍ර භාවිතයෙන් ස්පර්ශ රහිත ගෙවීම් සිදු කළ හැකි අතර, අන්තර්ජාලය ආශ්රිත Virtual කාඩ්පත් තාක්ෂණය සමඟ ඒකාබද්ධ වූ ආරක්ෂිත Digital Wallet එකක් ලෙස මෙය ක්‍රියා කරයි. Wallet එකේ ශේෂය ප්‍රමාණවත් නොවන විට සම්බන්ධිත බැංකු ගිණුමෙන් ස්වයංක්‍රීයව මුදල් ලබා ගැනීමේ Built-in Auto Top-up පහසුකම ද මෙහි අන්තර්ගතය. මීට අමතරව BOC Flex App එක හරහා ක්ෂණිකව කාඩ්පත් අත්හිටුවීමට, නැවත සක්‍රීය කිරීමට සහ Virtual කාඩ්පත් තුනක් දක්වා කළමනාකරණය කිරීමට ගනුදෙනුකරුවන්ට පූර්ණ හැකියාව පවතී. එමෙන්ම බිල්පත් ගෙවීම්, මුදල් මාරු කිරීම් සහ BOC ක්‍රෙඩිට් කාඩ් ගෙවීම් සඳහා ද මෙම සේවාව භාවිත කළ හැකිය.
මෙම අවස්ථාවට සහභාගී වූ ලංකා බැංකුවේ සභාපති කාවින්ද ද සොයිසා මහතා අදහස් දක්වමින් සඳහන් කළේ, ඩිජිටල් තාක්ෂණයෙන් බලගැන්වූ මූල්‍ය අන්තර්ගත භාවයෙන් යුත් ආර්ථිකයක් ගොඩනැංවීම සඳහා බැංකුව කැපවී සිටින බවයි. ලංකා බැංකුවේ මහා කළමනාකරු / ප්‍රධාන විධායක නිලධාරි වයි. ඒ. ජයතිලක මහතා පෙන්වා දුන්නේ, ගනුදෙනුකරුවන්ට ජාත්‍යන්තර මට්ටමේ ඩිජිටල් බැංකුකරණ අත්දැකීමක් ලබා දීම වෙනුවෙන් මෙම නවෝත්පාදනය සිදු කළ බවයි.
පසුගියදා සිංගප්පූරුවේ පැවති 2026 Digital CX සම්මාන උළෙලේදී BOC Flex යෙදුම ජාත්‍යන්තර පිළිගැනීමට ලක්වූ අතර, ඩිජිටල් බැංකුකරණ ක්ෂේත්රයේ විශිෂ්ටත්වය වෙනුවෙන් සම්මාන දිනා ගැනීමටද ලංකා බැංකුව සමත් විය. මෙම නව සේවාව හරහා ශ්‍රී ලංකාවේ මුදල් රහිත ගනුදෙනු ප්‍රවර්ධනය කිරීමට සහ ජාතික ඩිජිටල් ආර්ථික න්‍යාය පත්‍රය ශක්තිමත් කිරීමට බැංකුව අපේක්ෂා කරයි.














