දේශීයව නිෂ්පාදනය කරන සහල්, ප්‍රධාන ආහාරය ලෙස පරිභෝජනය කිරීමට අමතරව බියර්, සත්ව ආහාර සහ අනෙකුත් අගය එකතු කළ නිෂ්පාදන (Value-added products) සඳහා යොදා ගැනීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. සහල්, ආහාර නොවන නිෂ්පාදන සඳහා භාවිත කිරීම මීට පෙර තහනම් කර තිබූ ගැසට් නිවේදනය රජය විසින් ඉවත් කර ඇති බව අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ දෙවැනි අදියර ආරම්භ කරමින් ජනාධිපතිවරයා ඊයේ (10) සඳහන් කළේය. අතිරික්ත වී නිෂ්පාදනයක් පවතින කාල වකවානුවලදී වී සඳහා විශාල වෙළෙඳපොළක් නිර්මාණය කිරීම සහ ගොවීන්ට සාධාරණ හා තරඟකාරී මිලක් ලබාදීම මෙහි අරමුණයි. පශ්චාත් අස්වනු තාක්ෂණික ආයතන මගින් පර්යේෂණ මට්ටමින් නිපදවා ඇති සහල් ආශ්‍රිත බිස්කට්, කේක් සහ බියර් ඇතුළු පාන වර්ග වාණිජමය වශයෙන් වෙළෙඳපොළට හඳුන්වා දීමට රජය සූදානම් වන අතර, මේ හරහා මහා පරිමාණ සහල් මෝල් හිමියන්ගෙන් ඔබ්බට ගිය තරඟකාරී වෙළෙඳපොළක් ගොවියා වෙනුවෙන් බිහිවන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
















