මීගමුව බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය සහ එහිදී සිදු වූ වෙඩි තැබීම් සම්බන්ධයෙන් අදහස් දක්වමින් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා ප්‍රකාශ කළේ, බන්ධනාගාර පද්ධතිය තුළ වෙඩි තැබීමේ නියෝග (Firing Orders) ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව තමන්ට තවමත් ගැඹුරු අවබෝධයක් නොමැති බවයි. ජාතික රූපවාහිනියේ වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා පෙන්වා දුන්නේ බන්ධනාගාර ආඥාපනත අනුව එහි නීත්‍යානුකූල බලය ඇත්තේ බන්ධනාගාර නිලධාරීන්ට පමණක් බවයි. එමෙන්ම, බන්ධනාගාර පරිශ්‍රයක් තුළ විශේෂ කාර්ය බලකාය (STF) ගිනි අවි භාවිත කිරීම නීති විරෝධී බවත්, හමුදාවේ හෝ පොලිසියේ පවතින අණදීමේ දාමයට වඩා බන්ධනාගාර ක්‍රියාවලිය වෙනස් බැවින් ඒ පිළිබඳව තවදුරටත් කරුණු සොයා බලන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
















