ආර්ජන්ටිනාව සහ ඊජිප්තුව අතර පැවැති ලෝක කුසලාන පාපන්දු තරගයෙන් ආර්ජන්ටිනාව ගෝල 3-2ක ජයක් වාර්තා කිරීමෙන් පසු, එම තරගයේ විනිසුරු තීරණ දූෂිත බව පවසමින් ආර්ජන්ටිනා පාපන්දු සම්මේලනයේ (AFA) නිල ඊමේල් ගිණුමකින් පණිවිඩ නිකුත් වීම හේතුවෙන් දැඩි ආන්දෝලනයක් හටගෙන තිබේ. අදාළ ඊමේල් පණිවිඩ මගින් ආර්ජන්ටිනාවේ ජයග්‍රහණය විවේචනය කරමින් ඊජිප්තු කණ්ඩායමේ දක්ෂතාව ඇගයීමට ලක් කර ඇති අතර, ආර්ජන්ටිනා පාපන්දු සම්මේලනය පවසන්නේ තම නිල පද්ධතිය බාහිර පාර්ශවයක් විසින් හැක් කර (Cyberattack) මෙම ව්‍යාජ පණිවිඩ යවා ඇති බවයි. මෙම තරගයේදී ප්‍රංශ ජාතික විනිසුරු ප්‍රංශුවා ලෙටෙක්සියර් (François Letexier) ආර්ජන්ටිනාවට පක්ෂපාතීව කටයුතු කළ බවට චෝදනා කරමින් ඔහුව තරගාවලියෙන් ඉවත් කරන ලෙස ඊජිප්තු පාපන්දු සම්මේලනය ද අයිෆා (FIFA) ආයතනයෙන් ඉල්ලීමක් කර ඇති පසුබිමක මෙම හැක්වීම සිදුවීම විශේෂත්වයකි.
















