දැනට පවතින යුද වාතාවරණය හේතුවෙන් ආර්ථිකය මුළුමනින්ම බිඳ වැටී ඇති යුක්‍රේනයට පසුව, ලොව ඉහළම අක්‍රීය ණය (Non-Performing Loans – NPL) අනුපාතය සහිත රට බවට බංග්ලාදේශය පත්ව තිබේ. නවතම බැංකු දත්තවලට අනුව බංග්ලාදේශයේ සමස්ත බැංකු ණය ප්‍රමාණයෙන් 32.26% ක්ම පැහැර හැර ඇති (Defaulted) ණය ලෙස වර්ගීකරණය කර ඇති අතර, එය දකුණු ආසියානු කලාපයේ (SAARC) රටක වාර්තා වූ ඉහළම අගයයි. දුර්වල ණය විනය, දේශපාලන බලපෑම් මත ණය ලබා දීම සහ ණය අයකර ගැනීමේ පවතින දුර්වලතා මීට ප්‍රධාන හේතු වී ඇත. ලෝක මට්ටමින් යුක්‍රේනය 37.35% ක අක්‍රීය ණය අනුපාතයක් සමඟ පෙරමුණේ පසුවන අතර චැඩ් රාජ්‍යය (31.51%) සහ ගිනියා රාජ්‍යය (31.15%) බංග්ලාදේශයට පිටුපසින් පසුවෙයි. බංග්ලාදේශ මහ බැංකු දත්ත පෙන්වා දෙන්නේ පසුගිය මාර්තු මාසයෙන් අවසන් වූ මාස තුනක කාලය තුළ පමණක් එරට බැංකු ක්ෂේත්‍රයේ අක්‍රීය ණය ප්‍රමාණය ටකා බිලියන 310 කින් ඉහළ ගොස් ඇති අතර, තත්ත්වය පාලනය කිරීම සඳහා මුදල් අමාත්‍යාංශය සහ රාජ්‍ය බැංකු ප්‍රධානීන් අතර විශේෂ සාකච්ඡාවක් ද පවත්වා ඇති බවයි.
















