සංචාරක පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් බ්‍රසීල ජාතික සංචාරකයෙකු පැහැරගෙන, රුපියල් ලක්ෂ 30ක කප්පම් මුදලක් ඉල්ලා තර්ජනය කළ පුද්ගලයන් තිදෙනෙකු උණවටුන සංචාරක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ගාල්ල, තල්පේ ප්‍රදේශයේ ලැගුම්හලක නැවතී සිටි මෙම සංචාරකයාගේ කාමරය සෝදිසි කර ඔහුගේ බ්‍රසීල ගමන් බලපත්‍රය, ජංගම දුරකථන සහ වටිනා කියන දෑ කොල්ලකා ඇති සැකකරුවන්, පසුව ඔහුව මාංචු දමා රඳවා තබාගෙන ඇත. කොළඹ සිටින උසස් පොලිස් නිලධාරියෙකුට අල්ලස් දිය යුතු බව පවසමින් රුපියල් ලක්ෂ 30ක මුදලක් ඉල්ලා ඇති අතර, ඉන් ලක්ෂ 2ක් යතුරුපැදියක් උකස් කර සොයාගත් බව පවසා ඉතිරි ලක්ෂ 28 වහාම ගෙවන ලෙස තර්ජනය කර තිබේ. ලද පැමිණිල්ලකට අනුව ක්‍රියාත්මක වූ පොලිසිය වයස අවුරුදු 25 සහ 26 පසුවන සැකකරුවන් තිදෙනා සහ අපරාධය සඳහා යොදාගත් ඇල්ටෝ (Alto) වර්ගයේ මෝටර් රථය අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
















