ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සංකල්පයකට අනුව දිවයින පුරා පවතින කසළ කළමනාකරණය, ග්‍රාමීය මාර්ග සහ පානීය ජල ගැටලු විසඳීම වෙනුවෙන් රජය දියත් කර ඇති ප්‍රායෝගික වැඩපිළිවෙළ යටතේ, “පිවිතුරු පුරවර” ජාතික කසළ කළමනාකරණ වැඩසටහනේ කුරුණෑගල දිස්ත්‍රික් සාකච්ඡාව ඊයේ (10) කුරුණෑගල ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
කසළ යනු පරිසරයට බරක් නොවන, ආදායම් උපයන වටිනා සම්පතක් බවට පත්කිරීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ. අරලියගහ මන්දිරයේදී පැවති සමාරම්භක වැඩමුළුවේ මීළඟ පියවර ලෙස මෙම දිස්ත්‍රික් මට්ටමේ සාකච්ඡා මාලාව සංවිධානය කර ඇත.
ජාතික වැඩසටහන වෙනුවෙන් පත්කළ විශේෂඥ කමිටුවේ සහභාගීත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවේදී, කුරුණෑගල දිස්ත්‍රික්කයේ කසළ ගැටලුව සම්බන්ධ දත්ත, යෝජිත විසඳුම් සහ ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේදී ඇතිවිය හැකි අභියෝග පිළිබඳව දීර්ඝ වශයෙන් සමාලෝචනය කෙරිණි.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය හා “Clean ශ්‍රී ලංකා” ජාතික වැඩසටහනේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙළ, ඉදිරි වසර තුනක කාලසීමාව තුළ පළාත් පාලන ආයතනවල දායකත්වයෙන් සාර්ථකව අවසන් කිරීමට අපේක්ෂිතය.
















