ව්‍යාජ මැලේසියානු ගමන් බලපත්‍ර භාවිත කරමින් තායිලන්තය හරහා කසකස්තානය බලා යාමට උත්සාහ කළ ශ්‍රී ලාංකික කාන්තාවක්, ඇගේ දරුවන් දෙදෙනා සහ ඔවුන්ට සහාය දුන් මැලේසියානු ජාතික කාන්තාවක බැංකොක් නුවර ඩොන් මුවැන්ග් ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී තායිලන්ත ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් වූවන් අතර අනුෂා නැමැති ශ්‍රී ලාංකික කාන්තාව, ඇගේ වයස අවුරුදු 14ක් වන මෙර්ලින් සහ වයස අවුරුදු 5ක් වන ෂෙරොන් යන දරුවන් දෙදෙනා මෙන්ම, නීතිවිරෝධී සංක්‍රමණ උත්සාහයට ආධාර අනුබල දුන් ලිවියා නැමැති මැලේසියානු කාන්තාව ද වේ.
මෙම පවුල මුලින්ම තමන්ට අයත් ශ්‍රී ලාංකික ගමන් බලපත්‍ර භාවිත කරමින් තායිලන්තයට ඇතුළු වී පසුව ගොඩබිම් මාර්ග ඔස්සේ මැලේසියාවට ගොස් තිබේ. පසුව මැලේසියාවේ සිට සුවර්ණභූමි ගුවන් තොටුපළ හරහා කසකස්තානය බලා පියාසර කිරීමට උත්සාහ කිරීමේදී, ලිවියා නැමැති මැලේසියානු කාන්තාව එම දරුවන් දෙදෙනාගේ ජීව විද්‍යාත්මක මව ලෙස පෙනී සිටිමින් ගමනට එක්ව ඇත.
කෙසේ වෙතත්, ඔවුන් ඉදිරිපත් කළ සංචාරක ලේඛනවල පැවති නොගැලපීම් සහ අක්‍රමිකතා නිරීක්ෂණය කළ ගුවන් සේවා නිලධාරීන් ඔවුන්ට ගුවන් යානයට ඇතුළු වීම ප්‍රතික්ෂේප කර ඇති අතර, ඒ පිළිබඳව තායිලන්ත ආගමන විගමන කාර්යාංශය දැනුවත් කිරීමෙන් පසු මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.
















