ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා රජය ගෙන එමට නියමිත බව පැවසෙන යෝජනාවට එරෙහිව එක්වන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) සමස්ත විපක්ෂයෙන් ඉල්ලා සිටියි. නිවේදනයක් නිකුත් කරමින් එහි ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා සඳහන් කළේ, දේශපාලන අරමුණු ඉටුකර ගැනීම සඳහා රජය සිදු කිරීමට යන මෙම උත්සාහය ‘ලැජ්ජාසහගත’ එකක් වන අතර එය රටේ ප්‍රජාතන්ත්‍රවාදයට දැඩි තර්ජනයක් බවයි.
මෙම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව මේ වන විටත් සමාජය තුළ දැඩි විරෝධයක් ගොඩනැගෙමින් පවතින බවත්, මෙරට විනිසුරුවරුන්ගේ සංගමය ද මීට එරෙහිව ඒකමතික තීරණයක් ගෙන ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය. දේශපාලන වුවමනාවන් මත උසස් අධිකරණ විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම හරහා අධිකරණයේ ස්වාධීනත්වය සම්පූර්ණයෙන්ම බිඳ වැටෙන බව පවසන කාරියවසම් මහතා, මෙම යෝජනාව පරාජය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ සිටින සියලුම විපක්ෂ කණ්ඩායම් ඒකාබද්ධ කරන ලෙස පොහොට්ටුවේ ජාතික සංවිධායකවරයා පසුගිය සතියේ විපක්ෂ නායකවරයාගෙන් ද ඉල්ලීමක් කළ බව සිහිපත් කළේය.
















