කන්දකුලිය ප්‍රදේශයේදී රුපියල් ලක්ෂයකට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ එම ජාවාරමේ නිරත ප්‍රධාන සැකකරුවෙකු පුත්තලම පොලිස් ක්ෂණික විහිඳුම් බළකා ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. කන්දකුලිය රෙඩ්බානාව ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරු කල්පිටිය ඇතුළු අවට ප්‍රදේශ රැසක යතුරුපැදියක් මඟින් මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාවාරම සිදුකර ඇති බව විමර්ශනවලදී හෙළි වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු පොලිස් භාරයේ සිටින අතරතුර ඔහුගේ ජංගම දුරකථනයට මත්ද්‍රව්‍ය ඉල්ලා ඇමතුම් 76ක් ලැබී ඇති බව පොලිසිය පවසයි. ධීවර ප්‍රජාව ඇතුළු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් ඉලක්ක කර ගනිමින් මොහු මෙම ජාවාරම පවත්වාගෙන ගොස් ඇති අතර, සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා කල්පිටිය පොලිසිය වෙත භාර දී ඇත.
විමර්ශනවලදී තහවුරු වී ඇත්තේ මෙම සැකකරු මීට පෙරද අවස්ථා කිහිපයකදී මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනා මත අත්අඩංගුවට පත්ව බන්ධනාගාරගත වූවෙකු බවයි. අඛණ්ඩව මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරත වන පුද්ගලයින් හඳුනාගෙන ඔවුන් නීතියේ රැහැනට හසුකර ගැනීමට පොලිසිය පියවර ගනිමින් සිටින අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කල්පිටිය පොලිසිය විසින් සිදු කරනු ලබයි.
















