ගල් අඟුරු මිලදී ගැනීමේ ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කර ඇති විශේෂ ජනාධිපති කොමිෂන් සභාවේ සාක්ෂි විභාගය හෙට (13) අඛණ්ඩව තෙවැනි දිනටත් පැවැත්වීමට නියමිතය.
ඒ සඳහා ලක්විජය ගල් අඟුරු බලාගාරයේ නියෝජ්‍ය කළමනාකරු ඒ.බී.එම්. තුෂාන් අබේකෝන් මහතා සහ තවත් නිලධාරීන් දෙදෙනෙකු කොමිෂන් සභාව හමුවට කැඳවා ඇත. නියෝජ්‍ය කළමනාකරු අබේකෝන් මහතා පසුගිය ජූලි 08 වැනිදා ද කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබා දීම සඳහා පෙනී සිටියේය.
මේ දක්වා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ජී.එම්.ආර්.ඩී. අබේකෝන් මහතා, අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු සහ සමාගම් රෙජිස්ට්‍රාර් ශ්‍යාමා හර්ෂණී මහත්මිය ඇතුළු නිලධාරීන් සිව්දෙනෙකුගෙන් කොමිෂන් සභාව සාක්ෂි සටහන් කරගෙන ඇත.
ත්‍රිපුද්ගල කොමිෂන් සභාව හමුවේ නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ගංගා වැකිෂ්ඨ ආරච්චි මහත්මිය සහ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඇන්ජලෝ වෑන් හවුට් මහතා පෙනී සිටිති. ගල් අඟුරු මිලදී ගැනීමේ ගනුදෙනු සම්බන්ධයෙන් අදාළ නිලධාරීන් විසින් මීට පෙර ඉදිරිපත් කර තිබූ දිවුරුම් ප්‍රකාශ පදනම් කර ගනිමින් මෙම විමර්ශනය සිදු කෙරේ.
ජනාධිපති කොමිෂන් සභාවේ ලේකම් ඩී.වී. බන්දුලසේන මහතා සඳහන් කළේ සාක්ෂි ලබා ගැනීමේ ක්‍රියාවලිය ඉදිරි සති කිහිපය තුළත් අඛණ්ඩව සිදු වන බවයි.
2009 වසරේ සිට ශ්‍රී ලංකාවේ සිදු කර ඇති ගල් අඟුරු මිලදී ගැනීමේ ගනුදෙනුවල සිදුවී ඇතැයි කියන වංචා, දූෂණ සහ ක්‍රියා පටිපාටිවල අක්‍රමිකතා පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම විශේෂ ජනාධිපති කොමිෂන් සභාව පත් කරනු ලැබීය.
















